ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනක් : 09 දා දිවුරයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ලබන 09 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඉඩම් ඇමැතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරයට ෆොන්සේකා මහතා පත් කිරීමට නියමිතව තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසුව ෆොන්සේකා මහතා 2010 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපතිවරණයට තරග කර පරාජයට පත්විය.
ඉන් පසුව පැවැති මහ මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මහින්ද රාජපක්ෂ රජය පෙරැළීමට කුමන්ත්‍රණය කළ බවට ඔහුට එරෙහිව නඩු පැවැරිණි.

එම නඩුවෙන් ඔහු වැරදිකරුවී වසර තුනකට සිර දඬුවම් නියම විය.

මාස තුනකට වඩා සිර දඬුවමක් නියම වූවකුට පාර්ලිමේන්තු ආසනය අහිමි වීමේ නීතිය යටතේ ඔහුට පාර්ලිමේන්තු ආසනය අහිමි විය.

ඒ වෙනුවට ලැයිස්තුවේ ඊළඟට සිටි ජයන්ත කැටගොඩට එම තනතුර හිමිවිය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදීම ඔහු සිරෙන් නිදහස් කරනු ලැබීය.

එහෙත් විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද ද ජනරාල් යන හමුදා නාමයද අහිමි විය.

තිස් වසරක් පැවැති යුද්ධය 2009 මැයි 18 වැනිදා ජයග්‍රහණය දක්වා මෙහෙයවූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ෆොන්සේකා මහතාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසුව ඔහුට විශ්‍රාම වැටුප ද අහිමිවූ සෙසු වරප්‍රසාද ද සමග ඔහු ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් කැරිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා වන්නේ ඒ මහතා වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර ඇමැතිවරයකුගේ තනතුරකට සමානය.

2016 වසරේ පැවැති මහ මැතිවරණයටද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළද ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි විය.
gossip lanka