වසීම් තජුඩින් මරණයට අදාළ CCTV දර්ශන අපැහැදිලි බව උසාවියට දැනුම් දෙයි

අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව රහස් පොලිසිය ලබා ගත් ආරක්ෂක කැමරා දර්ශන (සී.සී.ටී.වී) අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ කළමනාකරු ඩී.එම්.බී. අත්තනායක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (05දා) දන්වා සිටියේය.

සී.සී.ටී.වී. දර්ශන අනුව තාජුඩීන්ගේ වාහනය ගමන් කරන කාලය තුළ දැඩි ආලෝක සහිත වාහනයක් වම්පස කෙළවරින් පැමිණෙන බව දර්ශනය වූ නමුත් වීදි පහන්වල තිබූ ආලෝකය නිසා එම වාහනවල සිටි පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳ නිවැරැදි ආකාරයෙන් දර්ශනය නොවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

කැමරා දර්ශන අපැහැදිලි වීම නිසා එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව තහවුරු කර ගැනීමට නොහැකි බවත්, ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගත යුතු බවත් අත්තනායක මහතා සිය වාර්තාව මඟින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශන එෆ්.බී.අයි. ආයතනය, කැනඩාවේ බි්‍රටිෂ් ඉන්ටොඩුයුස් ඔෆ් ටෙක්නොලොජි ආයතනය සහ නිව් ස්කොට්ලන්ඩ්යාඩ් මෙට්‍රො පොලිස් යන ආයතනවලට යොමු කර එම සී.සී.ටී.වී. දර්ශනවලට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කරගත හැකි බව අත්තනායක මහතා නිර්දේශ කර තිබේ.

තාජුඩීන්ගේ ඝාතනයට අදාළව රහස් පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයේදී අනාවරණය කර ගත් සී.සී.ටී.වී. දර්ශනවලට අදාළ ඩී.වී.ඩී. තැටි 4ක් හා සී.ඩී. පටයක් විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල වෙත අධිකරණ නියෝග පරිදි යොමුකර තිබූ අතර එම ඩී.වී.ඩී. සහ සී.ඩී. පටයට අදාළ වාර්තාව නිකුත් කරමින් අත්තනායක මහතා මේ බව ඊයේ අධිකරණයට දැනුම්දී තිබි‚.
අදාළ නඩුව මේ මස 07 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.


gossip lanka