මහ බැංකු අධිපති ධුරයට දේශපාලකයන් පත්කිරීම සුදුසු නොවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
මහ බැංකු අධිපති ධුරයට ඒ මහතා පත් කෙරුණු ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිිටියේය.
තමන්ට එම තනතුර ලැබෙන බවට පළවන පුවත් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසු එරාන් වික්‍රමරත්න මහතා, වැඩිදුරටත් සඳහන් කළේ. තමන් ජනතාව ලබාදුන් ජන වරමට අනුව ජනතාවට සේවය කිරීමට බැඳී සිිටින බවයි.
මේ අතර ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා, කවර ආණ්ඩුවක වුවද ආර්ථීක ප්‍රතිපත්තිය වෘත්තීමය ලෙස මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මහබැංකුව විසින් බවත්, එනිසා බොහෝ කාලයක සිට මහ බැංකුවේ මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත්වූයේ වෘත්තීමය නිපුනතාවයක් තිඛෙන, දේශපාලන වශයෙන් මැදිහත්වීමක් සිදුනොකරන නිලධාරියෙකු බවත්, නමුත් මෙම සම්ප්රදාය රාජපක්ෂ පාලනය විසින් විකෘති කළ බවත් කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද පැවසිය.
''එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වූ අජිත් නිවාඩ් කබ්රාල් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මැතිවරණ ක්‍රියාධරයෙකු ලෙස සහාය ලබාදුන්නා. ඉන් පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බවට පත්කරනු ලැබුවා.
පළමු වතාවට ශ්‍රී ලංකා මහ බැංකුවට දේශපාලන පත්වීමක් ලබාදුන්නා.
එම දේශපාලන මැදිහත්වීම පිළිබඳව බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව ප්‍රකාශ කළා.
නමුත් බන්දුල ගුණවර්ධන එජාපයේ සිට මහින්ද රාජපක්ෂ පිලට මාරුවීමත් සමඟ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය ඉදිරියට ගියේ නැහැ.
කබ්රාල්ගේ පත්වීම කෙතරම් දේශපාලනීකරණය වුණේද කියනවා නම් විදේශයක උත්සවයකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ කබ්රාල් මහබැංකු අධිපතිවරයා සෙල්ලම් කෝච්චි පදින තැනකට පත්වුණා.
ඒ තරමට එම තනතුර දේශපාලනීකරණය වුණා.
ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනයක් :
ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස සුවිශේෂී ගනුදෙනු කිහිපයකට සම්බන්ධ වුණා.
ග්‍රීසිය කඩා වැටෙමින් තිඛෙන යුගයක යුරෝපා පාර්ලිමේන්තුවේ පවා ග්‍රීසියේ කඩා වැටීම යුරෝපා සංගමයට බලපාන ආකාරය පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡා වෙන යුගයක අජිත් නිවාඩ් කබ්රාල් ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනයක් කළා.
රුපියල් කෝටි 700ක මුදලක් අයෝජනය කළ අතර ග්‍රීසියේ කඩා වැටීමෙන් පසු එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකාවට අහිමි වුණා. ලෝකයේ ආර්ථීකය බිඳවැටීමේ ප්‍රකාශකයා බවට ග්‍රීසිය පත්ව තිබූ මොහොතක එවැනි ආයෝජනයක් කිරීමෙන් රටට විශාල පාඩුවක් වුණා.
හෙජින් ගනුදෙනුව :
ඒ වගේම විශාල කතාබහකට ලක්වූ හෙජින් ගනුදෙනුවේ ආරම්භකයා අජිත් නිවාඩ් කබ්රාල්.
ඔහු තමයි කැබිනට් මණ්ඩලයට හෙජින් ගනුදෙනුව ගැන වැඩමුළු කළේ.
එම හෙජින් ගනුදෙනුව හරහා අපේ රටට රුපියල් කෝටි 7000කට ආසන්න මුදලක් පාඩු වුණා.
සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවා මහ බැංකුවයි. එම අරමුදලේ කොටස් වෙළඳපොළේ මාෆියා ගනුදෙනුවලට යොදා ගනිමින් රු. කෝටි 2800ක පාඩුවක් සිදුකළා.
මේ ආකාරයට අජිත් නිවාඩ් කබ්රාල් ග්‍රීසියේ බැඳුම්කර මගින්, හෙජින් ගනුදෙනුව මගින්, ඊ.පී.එෆ් අරමුදල කොටස් වෙළඳපොළේ යෙදවීම මගින් විශාල මුදල් නාස්තියක් කළා.
පහුගිය ජනවාරි 08වැනිදා පැවති පාලනය බිඳවැට්ටවීමේදී මෙම කරුණු ප්‍රධාන මාතෘකා බවට පත්වුණා.
මෙම කරුණු නිසා මහ බැංකුව සම්බන්ධයෙනුත් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය ගැනත් රට තුළ වඩා වැඩි අවධානයක් යොමු වී තිබුණා.
එවැනි තත්වයකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමන්ගේ ගජ මිතුරා වූ අර්ජුන මහේන්ද්‍රන් එම පුටුවේ වාඩි කළා. අද ඔහුට එල්ලවී ඇති චෝදාන බරපතලයි''
'දේශපාලකයන් මහ බැංකු අධිපති නොකළ යුතුයි' -ඉරාන්
2016-06-29T14:50:00+05:30
Hot News
Sinhala News|