පාලකයින් පාර කපන්නේ මධ්‍යම කදුකරයේ අවමඟුලට

මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ මේ වන විට ගෙවල් 3850 ක් ඉරිතලා ඇති බවත් ජල උත්පත්,ළිං 2000ක් සිදී යමින් ගොවිබිම් කාන්තාර වී පාසල් පල්ලි පන්සල් ව්‍යාපාරික ස්ථාන විනාශ වී ඇති බව උමා ඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසයි.

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට වසර දෙකක් සම්පූර්ණ වීම සමග එම ව්‍යාපෘතිය නිසා විශාල ජන කොටසක් පීඩාවට පත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකිරීමට උමා ඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් උද්ඝෝෂණ පාගමනක් සහ රැලියක් පසුගිය දා පවත්වන ලදී. එහිදී අදහස් දක්වමින් එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න
මහතා කියා සිටියේ මෙය සංවේදී ප්‍රශ්නයක් බවයි.
හදවත නසන හදවත් නැත්තන්

සල්ලි වලට මුල් තැන දෙන බොහෝ වගකිව යුත්තන් වැරදි වාර්තා සකස්කරමින් මධ්‍යම කඳුකරය හෙවත් රටේ හදවත විනාශ කරන්නට කටුයුතු කළ බව හෙතෙම කියා සිටියේය. මෙය සංවර්ධනයක් නොව විනාශකාරී ව්‍යාපෘතියක් බවත් ප්‍රතිලාභ ලෙස ලැබී ඇත්තේ විනාශය පමණක් බවත් පාලකයන්ට ජනතාවගේ දුක දැනෙන්නේ ඡන්ද කාලයට පමණක් බවත් හෙතෙම සදහන් කර සිටියේය.

ධාතුසේන රජතුමා කළා වැවෙන් දෝතට ගත් ජලය පෙන්වා තමා හම්බ කළ වස්තුව එය බව කියා පෙන්වා සිටියා. වතුර  යනු ඉතා සංවේදී දෙයක්. මරණ මංචකයේ සිටින පුද්ගලයා පවා වතුර බිදක් ඉල්ලනවා. එවන් ජල සම්පතක් විනාශ කරන්නට උත්සාහ දැරීමට එරෙහි විය යුතුමයි.

සිංහාසනය උණු වෙන දිනය

වතුරට පක්ෂ පාට භේදයක් නැති බවත් එය බේරා ගැනීම උදෙසා මහජන බලය ළග පාලකයන් දනගස්වන බවත් ඔවුන්ව සිංහාසනයට ගෙන ආවා සේම සිංහාසනයෙන් බස් වන දිනය ඈතක නොවන්නට නම් ජනතාවගේ ප්‍රශ්නය දෙස අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මතක් කර දෙන බව හෙතෙම කියා සිටියේය.

මේ විනාශය බලන්න මහජන නියෝජිතයින් කිසිවෙක් පැමිණියේ නැති බවත් මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇත්තේ බරපතල අර්බුදයකට බවත් මෙය සංවර්ධනයක් නොවන නිසා වංචාවට දූණයට නාස්තියට විරුද්ධ වෙමින් මෙම අරගලය ජයග්‍රහණය දක්වාම ගෙන යන බවත් කියා සිටියේය.

පාරිසරික හතුරනි අවමඟුලට වරෙව්!

මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියට එදා විරුද්ධවූ පිරිස් අද නිහඩ වී ඇති බවත් පාලකයන්ගේ දෑවැද්ද ලෙස ජනතාව අද අවාසනාවන්ත ඉරණමකට ඇද දමා ඇති අතර මෙය තිරසර සංවර්ධනයක් නොව පාරිසරික හතුරුකමක් බවත් කියා සිටියේය.

බදුල්ල දිස්ත්‍රික්කය 66.9% ක් නාය යාමේ අවදානමක පවතින බවත් ජනතාව වළලන මේ ව්‍යාපෘති වලට ඉඩ නොදෙන බවත් අවධාරණය කරමින් හෙතෙම කියා සිටියේ යම් ව්‍යවසනයක් සිදුවුවහොත්  මධ්‍යම කදුකරයේ අවමගුල් දාට එනවා නම් පාංශුකූළය දීමට වතුර බොතල් රැගෙන එන ලෙසයි. මධ්‍යම කදුකරයේ අවමගුල සරසන්න මේ මේ විනාශකාරී ව්‍යාපෘතියට නුබල දුන් සැමට ආරාධනා කරන බවත් හෙතෙම කියා සිටියේය.

සවල සහ කන්හැන්ද


මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකඡාවක් ලබා ගත් අවස්ථාවේ මෙය ‍මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතුවක්කාරකමක් බවත් මෙය තාවකාලිකව නවතා අධ්‍යයනයක් කරනවා කියමින්  ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කළා.

ඒ සදහා පත් කළ කමිටුව පැත්ත පළාතේ ආවේ නෑ. පාර්ලිමේන්තු කාමරයකට වී විද්වත් වාර්තාවට අත්සන් තබා ව්‍යාපෘතිය දිගටම කර ගෙන යාමටත් හානි වලට වන්දි දීමටත් තීන්දු කළා.

ඒ කමිටුවේ සභාපති රවී කරුණානායක වන අතර අනෙක් සමාජිකයන් නිමල් සිරිපාල ද සිල්වා,ඩිලාන් පෙරේරා ,හරීන් ප්‍රනාන්දු විජිතමුණි සොයිසා ,රංජිත් මද්දුම බණ්ඩාර ,චම්පික රණවක යන අය වූ අතර මේ කිසිවෙක් ජනතාව අතරට ආවේනෑ.

වත්මන් අගමැතිවරයාගේ යෝජනා අනුව මන්ත්‍රීවරුන්ට වැඩි දීමනා ලැබෙනවා. ඒ අයට  සවලෙන් බෙදලා ඡන්දය දීපු අයට කන් හැන්දෙන් බෙදනවා.

අඩිය ආපස්සට ගන්නෙ නෑ

මේ රට මහා ධනස්කන්දයක් ඇති රටක්. මේ රට මෙසේ වැනසීමට ඉඩ නොදිය යුතුයි. මුදල් වලින් සියල්ල කළ නොහැකියි.
වන්දි විතරත් නෙවේ අපේ ජීවිත සුරක්ෂිත කිරීම අනිවාර්යෙන් විය යුත්තක්.

පරිසරය යනු හතුරෙක් නොව මිතුරෙක් බවත් පරිසරයට එරෙහිවූ විට අත්විදින්නට සිදුවන දඩුවම සුළුපටු නොවන බවත් හෙතෙම සිහිපත් කර සිටියේ සියලු වෘක්ෂලතා විනාශ වූ පසු සියලු ගංගාවෝ සිදී ගිය පසු පසු අන්තිම මාලුවාද ආහාරයට ගත් පසු මිනිසුන්ට තේරේවි මුදල් ආහාරයට ගන්න බෑ කියා යන පාඨයයි.

ජනතාව සුරක්ෂිත කිරීමට තාක්ෂණය ගෙන ආයුතු බවත් පාලකයින් ජනතාවට  මහපොළවට ආදරය නැති බවත් බලය ධනය පමණක් ආදරය කරන ඔවුන්ට රටට පණ දීමට අවශ්‍ය නැති ආකාරය පැහැදිලිව පෙනෙන නිසා මේ සටනට සූදානම් බවත් රට රැකිමට ජනතාවට එක්වන ලෙසක් කියා සිටියේය.

නොදෙන සහන දිනා ගැනීමට සූදානම් බවත් ජයග්‍රහණය මිස ආපස්සට අඩිය තැබීමට සූදානමක් නැති අතර ජනතා බලයෙන් පාලකයන් දණගස්වා  මේ විනාශය නවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Previous Post Next Post