දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා

දකුණු පළාත් සභාවේ උප සභාපතිවරයා සදහා රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ගෙන්වා ඇති බව ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් මෙම සුපිරි මෝටර් රථය ගෙන්වා ඇති බවද මන්ත්‍රිවරයා අනාවරණය කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“පළාත් සභාවට මධ්‍යම රජයෙන් ලබා දෙන මුදල් කප්පාදු කරලා කියලා නාහින් හඩනවා. එසේ තිබියදි කෝටි ගණනක මුදල් වියදම් කරලා සුපිරි වාහන ගෙන්වනවා. මේවාට කියන්නේ ඩීල් කියලා. වරදාන වරප්‍රසාද ලබා දීලා මන්ත්‍රිවරුන් නම්වා ගැනිමට තමයි කටයුතු කරන්නේ. අද  රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. එසේ තිබියදි මහජන මුදල් කෝටි ගණනාවක් වැය කරලා නිල රථ ගෙන්වනවා. අයවැයට කලින් මන්ත්‍රිවරුන්ගේ රියදුරු දීමනාව වැඩි කළා. තැපැල් පහසුකම්  දීමනාව වැඩි කළා, මන්ත්‍රි ප්‍රතිපාදන දිමනාව. වැඩි කළා“

උප සභාපති නිල තනතුර සදහා මෙම මෝටර් රථය ගෙන්විමට කටයුතු කළ බව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගෙන් මේ පිළිබද අප කළ විමසීමකදී පැවසිය.

දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ “මෙම මෝටර් රථය භාරගන්නවාද නැද්ද කියලා මම තාම තින්දු කරලා නැහැ. මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් සාකච්ඡා කරනවා. වරදාන වරප්‍රසාද දිලා අපි කාටවත් නම්ව ගන්න බැහැ. මෝටර් රථය ගෙනවිත් තියෙන්නේ උප සභාපති තනතුරට“
Previous Post Next Post