ශ්‍රී ලංකන් ආදායම බිලියන 2.4කින් අඩුවෙයි

මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ආදායම රු. බිලියන 2.4කින් අඩුවී ඇතැයි වාර්තා වේ.

අධික වියදම් කපා හැරීමට හා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මීට කළින් පවසා තිබුණද, වසර 2015/2016 මූල්‍ය වර්ෂය තුළදී ඔවුන්ගේ ආදායම රු. බිලියන 129.48ක් දක්වා අඩු වී ඇතැයි එහි වාර්ෂික මූල්‍ය වර්තාවේ ඇතුළත් දත්ත වල දැක්වේ.
වසර 2014/2015 මූල්‍ය වර්ෂය තුළදී ලැබූ රු. බිලියන 131.92ක ආදායම හා සැසඳීමේදී 2015/2016 මූල්‍ය වර්ෂයේ ආදායම රු. බිලියන 2.4කින් අඩුවී තිබේ.

ශ්‍රී ලංකන් හා පකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවය (PIA) අතර පැවත ‘වෙට් ලීස්’ ගණුදෙනුව ද පසුගියදා හදිසියේම අවසන් කෙරුණු අතර, මෙමගින් ද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සැලකිය යුතු පාඩුවක් සිදුව තිබේ.

කෙසේවෙතත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ කළමණාකාරීත්වයේ දුර්වලතා, මෙහෙයුම් වල අකාර්යක්ෂමතාවය හා අවපාලනය යන කරුණු මෙම සමාගම මේ වන විට මුහුණ දෙන මූල්‍ය අර්බුදයට හේතු වී ඇති බවයි.

මේ අතර, PIA සමග ගණුදෙනුව බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකන් ගුවන්සේවයට මුදල් ලබාදීමට එරෙහිව භාණ්ඩාගාර නිලධාරීන් ද බලවත් ලෙස විරෝධය පළ කර තිබුණි.
gossip lanka