මරණ දඬුවම නියම වූ සෙබළාගේ අභියාචනය විභාගයට

2000 වසරේදී යාපනය මිරිසුවිල් හිදී ගම්වැසියන් අට දෙනකු කපා කොටා ඝාතනය කිරීමේ නඩු විභාගයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටින යුද හමුදා නිලධාරියා එම මහාධිකරණ නියෝගයට එරෙහිව ගොනු කර ඇති අභියාචන පෙත්සම දින හයකදී විභාගයට ගැනීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඊයේ (01) තීරණය කෙළේය.

ඒ අනුව එම පෙත්සම් විභාගය ජුනි මස 05, 06, 07, 12, 13, 14 යන දිනවල සිදු කිරීමට නියම විය.
එම අභියාචන පෙත්සම ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදී.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මේ පෙත්සම ඊයේ (01) කැඳවන ලදී.

2000 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා මිරිසුවිල් හිදී පුද්ගලයන් අට දෙනකුට පහරදීම කපාකොටා මරා දැමීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකාර ආර්.එම්. සුනිල් රත්නායක ඇතුළු යුද හමුදා නිලධාරීන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවෙහි නඩු පවරා තිබිණි.

යාපනය මිරිසුවිල් හි සිටි ද්‍රවිඩ ජාතික ගම්වැසියන් වූ ඥානපාලන් රවිචරන්, තෙල්ලමුනි තෙයිටකුලසිංහම්, විශ්වරාසා ඥානදීපන්, සින්නයියා විල්වරාසා, නඩේෂ් ජයදීපන්, කදිරන් ඥානරාජා, ඥානවන් ශාන්තරන් සහ විල්වරාසා ප්‍රසාද් යන අය කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් මේ නඩුවේදී චෝදනා එල්ල විය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ මෙම නඩුවෙහි තීන්දුව 2015 මැයි මස 25 වැනි දින ප්‍රකාශ කරන ලද අතර එහිදී අදාළ චෝදනා වලින් විත්තිකරුවන් හතර දෙනකු නිදොස් කොට නිදහස් කරන ලද අතර විත්තිකාර අභියාචක වන සුනිල් රත්නායක හට මිනී මැරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරන ලදී.

(දිනමිණ)
Previous Post Next Post