උද්ඝෝෂණවලට වැට බඳින නව පනතක්

පොදු ජනතාවට අවහිරයක් නොවන සේ නීතිය හා සාමය සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු‍ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවක් ද කතාකරමින් ඇමැතිවරයා පසුගිය සිකුරාදා එම කාරණය පැවසිය.

වීදිවල පැවැත්වෙන විවිධ උද්ඝෝෂණවලින් ජනතාවට මුහුණපෑමට සිදුවී ඇති අපහසුතා පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ නව පනත් කෙටුම්පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ඇමතිවරයා එහිදී පැවසීය.

කොළඹ හා අනෙකුත් නාගරික ප්‍රදේශවල ප්‍රධාන මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීම ශීඝ්‍රයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබී ඇති හෙයින් රජය එම තීරණය ගෙන තිබේ.


විරෝධතා පැවැත්වීමට තැනක් !

විරෝධතා පැවැත්වීම සඳහා එක් ස්ථානයක් වෙන්කිරීමේ අදහස ද මේ වනවිට සලකා බලමින් සිටින බව ද ඇමැතිවරයා කීවේය.

“මෙම කටයුත්ත පිළිබඳව වගකිවයුතු ආයතනය වන කොළඹ නගර සභාව සමඟ සාකච්ඡා කෙරෙමින් තිබෙනවා.”

විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතියට අපි ගරු කරනවා. එහෙත් වෙනත් අයිතීන් කඩකිරීමට ඔවුන්ට අයිතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(7) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 14 වැනි ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම්වල ඇති සීමා පැහැදිලි වෙනවා. 14 වැනි ව්‍යවස්ථාවෙන් කතා කිරීමේ, අදහස් පළකිරීමේ නිදහස හා සාමකාමීව රැස්වීමේ නිදහස ද සහතික කෙරෙන නමුත් ඒ සමඟම ‍එම අයිතීන් භාවිතා කළ යුත්තේ පුරවැසියන්ගේ නිදහසට ගරු කරමින් බව 15(7) ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා” යැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

“2015 ජනවාරි 8 වැනි දිනට පෙරද එම මුලික ‍අයිතිවාසිකම් පැවැතියත් මහජනයා තම ජීවිතවලට බියෙන් විරෝධය පෑමට වීදිවලට ආවේ නැහැ. දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා, මහජනතාවගේ අයිතීන් අප සුරක්ෂිත කරන නිසා” ඇමැතිවරයා කීවේය.

මානව හිමිකම් කඩ කිරීමක්:

කෙසේ නමුදු, බොහෝ වි‍රෝධතා සාමකාමීව අවසන් නොවන බව ඇමැතිවරයා ඊයා සිටියේය.

''සමහර විරෝධතාවලට සාධාරණ හේතුන් තිබුණත් අනෙක් ඒවා දේශපාලන පෙළඹවීමක් සහිත ඒවා වෙනවා. සමහර අවස්ථාවලදී මාධ්‍ය මගින් ද එම විරෝධ වැඩි කරනවා.විරෝධතා නිසා ඇතිවන විශාල වාහන තදබදයන් නිසා අසාධ්‍ය තත්ත්වයක රෝගියකු සිටින ගිලන් රථයකට පවා ගමන් කිරීමට නොහැකි වෙනවා.

මෙය පැහැදිලිවම මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. සමහර අවස්ථාවලදී පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතා නිසා මන්ත්‍රීවරුන්ට පවා පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වෙනවා. එය ස්ථාවර නියෝග කඩ කිරීමක්” ඔහු කීය.
Previous Post Next Post