කොත්තමල්ලිවලින් ලෙඩ හොඳ නොවන රහස ?

ආයුර්වේද ඖෂධයක් සහ කුළුබඩු විශේෂයක් ලෙස භාවිතයට ගනු ලබන කොත්තමල්ලිවල සාරය ඉවත් කර වෙළෙඳපොළට එවීම හේතුවෙන් ඒ ආශ්‍රිත අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙයි.

එහි දී සාරය ඉවතට ගත්  ආනයනික කොත්තමල්ලි තොග අඩු මිලකට මෙරටට ආනයනය කර ඇති බවත් සාරය ඇති ආනයනික කොත්තමල්ලිවල සාරය ඉවතට ගෙන වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක් ද මේ වන විට රට තුළ ඇතිව තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ සම්බන්ධව අප කළ විමසුමක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා එම පුවත සනාථ කළ අතර එහි දී සභාපතිවරයා  සඳහන් කර සිටියේ තම අධිකාරියට ද ඒ සම්බන්ධ පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති බවය.

 එසේම ලැබුණු පැමිණිලි අනුව වෙළෙඳපොළේ ඇති කොත්තමල්ලි සාම්පල් කිහිපයක්ම අහඹු ලෙස පරීක්ෂා කිරීමට තම අධිකාරිය කටයුතු යෙදූ බවත් ඒ තුළ කිසිදු අයුරකින් ප්‍රයෝජනයකට ගත නොහැකි අන්දමට සාරය ඉවත් කළ කොත්තමල්ලි සාම්පල් කිහිපයක්ම හඳුනා ගන්නට ලැබුණු බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අප සමඟ අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද පැවසීය.


කුළුබඩු සම්බන්ධයෙන් ප්‍රමිතියක් :

“මේ වෙනකොට අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු සම්පත් දායක පාර්ශ්ව කිහිපයක් යොදාගෙන විශේෂ විමර්ශනයක් සිදු කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ අතර අපි ජනතාවට දැනුම් දෙනවා එහෙම සැකසහිත කොත්තමල්ලි තොග සම්බන්ධව අපට දැනුම් දෙන ලෙස. ඒ වගේම කියන්න ඕන මේ වන විට අපේ විමර්ශන කණ්ඩායම් කොත්තමල්ලි ආනයනකරුවන් ඇතුළු මේ වෙළෙඳාමේ නියුතු පාර්ශ්ව සම්බන්ධව පූර්ණ නිරීක්ෂණයක සිටිනවා. ඒ වගේම අපට දැනට ලැබී ඇති තොරතුරු මතත් විමර්ශන සිදු කරනවා. මොනවා වුණත් ඖෂධයක් ලෙස පවා ගැනෙන මෙවැනි දේ හරහා අයථා ලාභ ලබන්න දෙන්න බෑ. අපි එහෙම කරන කාට වුණත් විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. ආනයනකරුවන් ඊට සම්බන්ධ නම් නැවත ඒ සඳහා යොමු විය නොහැකි තැනට ඔවුන්ව පත් කරන්න අධිකාරිය ක්‍රියා කරනවා”

මේ අතර වෙළෙඳපොළේ තිබෙන කරාබු නැටි, එනසාල් යනාදී කුළුබඩු වර්ග සම්බන්ධයෙන් ද මෙවැනි පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත් මේ හේතුව නිසා නුදුරේම කුළුබඩු සම්බන්ධයෙන් ප්‍රමිතියක් හඳුන්වා දීමට ද පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

(සංජය ලියනගේ)
Previous Post Next Post