ට්‍රම්ප් ගේ සංක්‍රමණික තහනම යළිත් පරදියි

මුස්ලිම් බහුතරයක් ඇති රටවල් හතක සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුල් වීම වැළැක්වීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන තිබූ උත්සහය එරට අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සඳහා තහනමක් ගෙන ඒමට ජනපති ට්‍රම්ප් විධායක බලය පාවිච්චි කළද පහළ උසාවියකින් මෙම තහනම අත්හිටුවා තිබුණි. පහළ උසාවියේ මෙම තීන්දුව නිෂ්ප්‍රභා නොකරන බව ඇමෙරිකානු අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තීරණය කර තිබේ.
ඔවුන් පවසා තිබුණේ මෙම තහනම යළි ක්‍රියාත්මක කිරීම සඳහා අදාල ත්‍රස්ත තර්ජනය ඔප්පු කිරීමට ඇමෙරිකානු රජය අපොහොසත් වී ඇති බවයි.

මේ අනුව, වීසා බලපත්‍ර සහිත ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනය යන රටවල වැසියන්ට හා තහනමෙන් තාවකාලික බලපෑමක් ඇතිවූ සරණාගතයන් ද ඇමෙරිකාවට ඇතුල් වීමට වරම් ලැබේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් කිපී ඇති ට්‍රම්ප්, ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත්, ඉදිරියේදී මෙම තීන්දුවට එරෙහිව නීතිමය අභියෝගයක් එල්ල කරන බවත් ය.

මේ අනුව, මෙම නඩුව ඉදිරියේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වනු ඇතැයි පැවසේ.
Previous Post Next Post