ශ්‍රී ලංකන් ගුවන් සමාගම අමෙරිකාවේ ටී.පී.ජී. සමාගමට?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරින් ටී.පී.ජී. නමැති අමෙරිකානු සමාගම මේ වන විට ඒ සඳහා සුදුසු බවට යෝජනා වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තවමත් අවසාන තීරණයක් ගෙන නොමැති බව ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා සමාගම රාජ්‍ය පෞද්ගලික එකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා රජය පසුගියදා ආයෝජකයින්ට අරාධනා කළේ ය.
ඒ අනුව ලංසු ඉදිපත් කර තිබූ ආයෝජකයින් 10 දෙනෙකු අතරින් ශ්‍රී ලාංකික සම්බන්ධයක් ඇති පීස් එයාර් සමාගම, මාලදිවයිනට සම්බන්ධ සුපර් ගෘප් සමාගම සහ අමෙරිකානු සමාගමක් වන ටී.පී.ජී. සමාගම අවසන් ලැයිස්තුවට ඇතුළත්ව තිබිණි.

මේ අතරින් සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර ඔවුන් මේ වන විට එක් ආයෝජකයෙකු යෝජනා කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ඒ ආයතන තුනෙන් එක් ආයතනයක් එක්ක පමණක් සාකච්ඡා තියන්න තීරණයක් අරගෙන තියෙනව ඒ කොමිටුව. ඒ තීරණය කොමිටුව රජයට දීලා තියෙනවා. ඒ ආයතනය එක්ක රජය සාකච්ඡා කරගෙන යනවා. ඒක් දීර්ඝ සාකච්ඡාවක්. එය සඟවලා කරන්න යන ක්‍රියාවලියක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් කරන්නේ. ඒකෙන් සඳහන් කරන්නේ ඒ ආයතනයට මේක සම්පූර්ණයෙන් දෙනවා කියලා නෙමෙයි. මේක සාකච්ඡාවට පමණයි. සාකච්ඡා කරලා අපේ අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන්නම් ඒ ආයතනය සමග ගනුදෙනුවක් කරන්න පුළුවන්.“ 

අමෙරිකානු සමාගම මෙරට ව්‍යාපාරවල ආයෝජනය කරලා

අමෙරිකාවේ ටී.පී.ජී සමාගම දැනටමත් මෙරට ව්‍යාපාර කිහිපයක ආයෝජනය කර ඇති අයුරු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු විමසා බැලීමේදී දැකගත හැකි ය.

2014 අගෝස්තු 15 වන දා ඩේලි මිරර් පුවත්පතේ ව්‍යාපාරික අතිරේකයට අනුව ඔවුන් යූනියන් බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ කල්චර් ෆයිනෑන්ෂියල් හෝල්ඩින්ස් ලිමිටට් නමැති සමාගම යටතේ ය.

යූනියන් බැංකුවේ 2016 3වන කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන විමසා බැලීමේදී 70%ක කොටස් හිමිකාරිත්වය මෙම සමාගම සතු වේ.

මේ අතර එන්.ඩී.බී. බැංකුවේ පසුගිය වසරේ 3වන කාර්තුවේ මූල්‍ය ප්‍රකාශන විමසා බැලීමේදී පර්පෙචුවල් ඉක්විටි හා යූනියන් බැංකුව එක්ව 2.73%ක කොටස් මිලදී ගෙන ඇති අයුරු ද දැක ගත හැකි ය.




Previous Post Next Post