සනා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (08) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා තිබේ.

ඒ මහතා දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අද (09) දිනයේදී බවද මේ අතර වාර්තා වේ.

ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ එංගලන්ත ඒ කණ්ඩායම සමඟ තරඟ වැදීමට නම් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් විසින් වෙනස් කිරීම නිසාය.
ඊයේ (08) එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා මාධ්‍ය හමුවක් පැවැති අතර ඉතිහාසයේ පළමු වරට එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ඒ පිලේ නායකයකු සහභාගි නොවීම විශේෂ සිද්ධියකි.

එහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා ඒ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් විමසා ඇති අතර ඔහු තමාට 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් දී ඇති බව පැවසුවද අදාළ ක්‍රීඩකයන් කවුදැයි විමසුව විට ඔහුට ඉදිරිපත් කළ හැකිවී ඇත්තේ නම් දෙකක් පමණි.

කසුන් රාජිත හා ළහිරු ගමගේ යන ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් ඔහුදී ප්‍රකාශකර ඇත.

මේ මාධ්‍ය හමුවට පුහුණුකරුවන්ගේ ප්‍රධානී ජෙරම් ජයරත්නද සහභාගිවී තිබේ.
Previous Post Next Post