ලංකාවට ආරම්භයදීම නැවත තරංගට පවරයි ?

පළමු එක්දින තරගයේදී ලද පරාජයේ අමිහිරි මතකය මකා දමා ජයග්‍රහණයක බලාපොරොත්තු සමගින් අද (01) ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස නායක උපුල් තරංග යොදාගැනීමට නියමිත බව දකුණු අප්‍රිකානු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තීරණයට එළඹීමට පළමු තරගයේදී එක්දින වරම් දිනාගත් සඳුන් වීරක්කොඩිට තවත් අවස්ථාවක් දීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය තීරණය කරන්නේ නම් දෙවැනි තරගයේදී ද ඔහුට නිරෝෂන් දික්වැල්ල සමගින් ඉනිම ඇරඹීමට සිදුවීම යන කරණාව ඇතුළු කාරණා කිහිපයක් නිසාය.

එසේ නොවන්නේ නම් පළමු තරගයේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වාට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇතැයි පැවසේ.

දික්වැල්ල, සඳුන් සහ ධනංජය අතරින් කවුරුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද ඔවුන්ගේ අත්දැකීම් අඩු බව නිසා ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ දිගු සම්බන්ධතාවක් කරා යමින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ඇති ඉඩකඩ අඩු බවටද මතයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඊට හොඳම පිළියම ලෙස කණ්ඩායමේ තාවකාලික නායකයා වශයෙන් කටයුතු කරන උපුල් තරංගට පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් දී ඉහත නම් සඳහන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයකු සමග ඉනිම ඇරඹීමට අවස්ථාව ලබා දීම ගැන අවධානය යොමුව ඇත.

ලංකාවට ජුනි තෙක් වැදගත් මැච් නෑ

එළඹෙන ජූනි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධාන පෙළේ එක්දින තරගාවලිය මෙය බැවින් මේ තරගාවලිය  3-2 ක් ලෙස හෝ අවසන් කරගැනීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ

මෙම තරගාවලියෙන් පසුව ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා පිලට ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 3 ක් පමණි.

දකුණු අප්‍රිකානු පිලේ වෙනසක් නෑ

පළමු තරගයට සහභාගි වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමම දෙවැනි තරගයටත් ක්‍රීඩා කිරීමට බොහෝසෙයින් ඉඩ ඇති බවද මේ අතර වාර්තා වේ.

උපුල්ගේ කෙරුවාව

මේ වන විට එක්දින කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන උපුල් තරග එක්දින තරග 194 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 151 කදීම ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර තිබේ.

ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරග 151 දී ශතක 13 ක් සහ අර්ධ ශතක 25 ක් සමගින් ලකුණු 4902 ක් රැස්කිරීමට තරංග සමත් වී ඇතත් වෙනත් ස්ථානවල පන්දුවට පහරදුන් තරග 43 දී අර්ධ ශතක 5 ක් සමගින් ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 725 ක් පමණි.
Previous Post Next Post