නාමල්ට චෝදනා ගේනවා - FCID

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ආකාරයෙන් රැස්කළ රුපියල් මිලියන 45 කට වැඩි මුදලක් යොදා හෙලොකොප් නමැති සමාගමකින් කොටස් මිලදී ගෙන ඇති බවය.

මේ අනුව රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ මිට ආදාල පරීක්ෂණ කටයුතු අවසන් කර උපදෙස් ලබාගැනීම සදහා පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවය.

නීතිපති උපදෙස් ලබාගෙන ඉදිරියේදී සැකකරුවනට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකිරීමට අපේක්ෂා කරන බවද පොලිසිය ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වු කරුනු සලකා බැලු අධිකරණය මෙම නඩුව නැවත ජුනි මස 22 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට දැනුම් දුන්නේය.

මෙහි සැකකරුවන් ලෙස නම්කර තිබෙන ඉන්දික ප්‍රභාත් කරුනාජිව සහ ඉරේෂා සිල්වා මේ වනවිට විදේශයකට පලාගොස් ඇතැයි කි පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය වෙත විවෘත වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් අධිකරණය අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා මෙන් දන්වා ජාත්‍යන්තර පොලිසිය වෙත විවෘත වරෙන්තු නිකුත් කළේය.
Previous Post Next Post