සවස 4න් පසු රජයෙන් සහන මිලට සැත්කම්

රජයේ රෝහල්වල පස්වරු 4න් පසුව විශේෂඥ වෛද්‍ය සේවා පරික්ෂණ, ශල්‍යකර්ම සිදුකර ගත හැකි ක්‍රමවේදයක් අරඹන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

රජයේ රෝහල්වල ශල්‍ය උපකරණ භාවිතා කරනුයේ පැය 8ක් වුවද පෞද්ගලික රෝහල්වල එම උපකරණවලින් පැය 24 පුරාම සේවා ලබා ගන්නා බැවින් රජයේ රෝහල් තුලද පැය 24 පුරාම එම උපකරණ භාවිතා කරන ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කළ යුතුයැයි ඇමතිවරයා පෙන්වාදේ.

ඒ අනුව සවස 4න් පසුව රජයේ රෝහල්වල සිදු කරන ශල්‍යකර්ම සඳහා ඉතාමත් අඩු මුදලක් අයකිරීමට අදහස් කරන බවද හෙතෙම කොළඹ ජාතික රෝහලට ඩිජිටල් තාක්ෂණයෙන් යුතු නව එම්ආර්අයි යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවසීය.

මෙම වැඩ පිළිවෙල මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආදායමක් ලබා ගත හැකි බවත් එමගින් සෞඛ්‍ය වැය ශිර්ෂය අවම කර ගත හැකි බවත් ඇමතිවරයා පෙන්වාදේ.

ශල්‍ය උපකරණවල වලංගු කාලය වසර 3ක් වන අතර උපකරණ අලුත්වැඩියාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 987ක් වැය වෙන බවද ඇමතිවරයා පැවසීය.

ජාතික රෝහ‍ලේ වික්ටෝරියා ගොඩනැගිල්ල, බන්ඩාරණායක වාට්ටු සංකීර්ණය, හෙද නේවාසිකාගාරය, වෛද්‍ය නේවාසිකාගාරය නවීකරණය කිරිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇතැයිද ඇමතිවරයා පැවසීය.
Previous Post Next Post