ලෝක කාන්තා දිනය අදයි

ලෝක කාන්තා දිනයට සමගාමීව ජ්‍යාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

‘තුන්කල් දකින්නී-සවියෙන් දිනන්නී’ තේමාව යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන මේ උත්සවයට කාන්තාවන් දෙදහසක් පමණ සහභාගි වෙයි.

ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාතර පොලිස් ස්ථානයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම, පස්ගොඩ ප්‍රදේශයේ කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හා කාන්තා සංවර්ධන ඒකක සම්පූර්ණ කිරීම ද කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරේ.
වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් සඳහා නිවාස ආධාර හා ණය ලබා දීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තෝරා ගන්නා ලද අඩු ආදායම්ලාභී කාන්තාවන් 50 දෙනකු සඳහා නිවාස ආධාර ලබා දීම මේ ජාතික උත්සවයේ දී සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජාතික උත්සවය පැවැත්වෙන භූමි පරිශ්‍රයේ දී ව්‍යවසායක අලෙවි පොළ අද (08) දිනයේදී ද පැවැත්වෙයි. මෙය අලෙවි කුටි 75කින් සමන්විතය.

ජගත් කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ (07) මාතර දිසා ලේකම් කාර්යාලයේ දී සුවනාරි සෞඛ්‍ය වැඩසටහනක් පැවැත්වීම, හෙළ බොජුන් හලක් ඉදි කිරීම සඳහා මූලික කටයුතු යෙදීම, රැකියාවල නියුතු මවුවරුන් දැනුවත් කිරීම, උපදේශන වැඩසටහන් පැවැත්වීම ද සිදු කළ බව කාන්තා කටයුතු අමාත්‍යාංශය කියයි.
Previous Post Next Post