සුකීගෙන් ගිලිහුණු කිරුළ මෛත්‍රීට

මියන්මාරයේ අවුන්සාන් සුකීට ජාත්‍යන්තර වශයෙන් හිමිව තිබූ ගෞරවය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනා ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු පසුගිය දා ජිනීවාහි දී රාජ්‍යතාන්ත්‍රික  නිලධාරීන් පිරිසක් හමුවේ පවසා ඇත.

එම අවස්ථාවේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ශ්‍රී ලාංකේය නියෝජිතයන් පිරිසක් ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුව විසින් පත් කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රචාරණ කාර්යසාධක බළකායේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය මහකොමසාරිස්වරයාගේ විශේෂ ප්‍රශංසාවට ලක් වී තිබේ.

7000 කට අධික ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අදහස් විමසා කාර්ය සාධක බළකාය විසින් සකස් කරන ලද වාර්තාවේ නිගමන ක්‍රියාවට නඟන මෙන් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එහෙත් මෙම වාර්තාවේ නිර්දේශයන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් ප්‍රතික්ෂේප කොට ඇති  බව  වාර්තා වූ  අතර විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ලෙස තමන් කටයුතු නොකරන බවත් පසුගිය දා ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේය.

මියන්මාරයේ අවුන්සාන් සුකී  මේ වන විට පවත්වාගෙන යන මුස්ලිම් විරෝධය ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගේ බරපතළ විවේචනයට ලක්ව තිබීම ඇය ජාත්‍යන්තර ප්‍රජාව තුළ සනිටුහන් කළ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව පිරිහීමට හේතු වී ඇති බව පැවසේ.


(ඩී. මංජුල කුමාර)
Previous Post Next Post