පාඩු ලබන රජයේ ආයතන විකුණනවා

පාඩු ලබන රාජ්‍ය ආයතන  විකිණීම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂවල අනුමැතිය ලබා දේශපාලන තීන්දුවක් ගැනීමට කටයුතු  කරන බව රජය කියා සිටී.

දැනට පවතින හවුල් ආණ්ඩුවේ පාර්ශවයන්ගේ එකඟතාවය මත රාජ්‍ය ආයතනවල කොටස් විකිණීම සඳහා කොටස් වෙළඳපොල උපයෝගී කරගන්නා  බවත් එය වඩාත් විනිවිද ස්වභාවයකින් කළ හැකිවන බවත් රාජ්‍ය ව්‍යවසායක නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

 “ඇත්තටම මෙම ආයතන ආයෝජකයන්ගේ ආකර්ෂණය හිමිවන ආකාරයේ තත්වයකට පත්කිරීම සඳහා යම් ක්‍රමවේදයන් සකස්කර තිබෙනවා. අපි සමහරවිට පියවර කිහිපයකින් කොටස් අලෙවි කිරීමටත් රජය  සතුවද කොටස් තබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.”

සේවකයින්ටත් කොටස් :

 එසේම දිගු කාලින සේවයේ නියුතුව සිටින සේවකයන්ටද ආයතනයේ  කොටස් අයිතිය හිමිකරදෙන සුත්‍රයක් ද සලකා බලන බව  නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 පාඩු ලබන ආයතන විකිනීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක වරින් වර ප්‍රකාශ නිකුත්කර තිබේ.

එම ක්‍රියාවලිය මඟින් දේශීය ආයෝජන  සහ විදෙස් ඍජු ආයෝජන වේගවත් කිරීමේ හැකියාව උදාවෙන අතර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් වෙනස් මඟක යන බවට ඉඟි සපයයි.

 පවතින හවුල් ආණ්ඩුවේ දේශපාලන එකඟතාවය තුලින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පල කරයි.

 ” මීළඟ පියවර ලෙස විශේෂ තත්වයන් මත දේශපාලන එකඟතාවයක් සහ නිසි කාලය එළැඹිය යුතුයි. එය දේශපාලන තීන්දුවක්. අපි නිසැකවම එකඟතාවයකට එනවා,” යි හෙතෙම විශ්වාස කරයි.
Previous Post Next Post