නිදහසේ යන ගවයන් අල්ලා ගාල් කිරීම පිළිබඳව ජනතාවගේ ප‍්‍රශංසාව

·අල්ලා ගන්නා ලද ගවයින් ඇඹිලිපිටිය කොවුල්ආර ප‍්‍රදේශයේ අක්කර 100 කින් පමණ සමන්විත, ගව අනාථාගාරයට

·ගාල් කරන ගවයන්ගේ ආරක්‍ෂාව  ඕමල්පේ හිමි භාරගනී.


නිදැල්ලේ යන ගවයන් අල්ලා ගාල් කිරීමට රාජ්‍ය හා පළාත් පාලන ආයතන එක්ව ගත් පියවරට ජනතාවගේ ප‍්‍රශංසාව හිමි වී ඇත.


අධික නාගරික කරණය හා නේවාසික ප‍්‍රදේශ වර්ධනය, කර්මාන්ත ශාලා ඉදිවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ ඇති  වීඇති තදබදය දිනෙන් දින ඉහළ යමින් පවතී. එම තත්වය තුළ ගහකොළ හා පරිසරය හීන වී යමින් තිබේ. මිනිසා මිනිසාගේ සංවර්ධනය උදෙසා කටයුතු කරමින් සිටින අතරතුර ඔවුන්ගේ අවධානයෙන් ගිලිහුන පිරිසක් ද ඇත. එනම් සත්ව ප‍්‍රජාවයි.
මේ අතරින් සුවිශේෂී සත්වයෙකු වන්නේ ගවයායි. ශ‍්‍රී ලාංකික සංස්කෘතිය තුළ ගොවියාගේ සහයකයා මෙන්ම ඔහුගේ පෝෂණය වෙනුවෙන් ප‍්‍රයෝජනවත් වූ මෙම සත්වයා හට අදවන විට නිදැල්ලේ යාමට සිදුව ඇත. මේ වන විට බස්නාහිර පළාත තුළ ගව පාලනය සඳහා ඉඩකඩ සීමාවී තිබීම හේතුවෙන් නාගරික ප‍්‍රදේශවල හා තදාසන්න ප‍්‍රදේශයන්හි ගවහිමියන් තම ගවයන් නිදැල්ලේ යැවීමට කටයුතු කර ඇත. මෙය කලක පටන් මහජනතාවට ඇති පීඩාවකි. මහජනතාවට හිරිහැර, රියඅනතුරු ව්‍යාපාරික ප‍්‍රජාවට හිරිහැර සිදුවීම, මාර්ග තදබදය ආදී ගැටළු රැසක් මේ නිසා නිර්මාණය වී ඇත.

ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මිනිසා විසින් මුල්තැන ලා කටයුතු කරනු ලබයි. එසේම සතුන්ට ද එම අයිතිවාසිකම් ඇත. ගවයින්ට තම ආහාර සපයා ගැනීම සඳහා විවෘත භූමි ප‍්‍රදේශ හෝ නිදහස් භූමි ප‍්‍රදේශ මේවන විට ඇහිරි ඇත. මෙහි ඇති අභාග්‍ය තත්වය නම් එම සතුන්ට පොලිතින් මිනිසා විසින් බැහැර කරන ලද ඉඳුල්, පාන්පිටිවලින් නිෂ්පාදනය කරනු ලබන ආහාර ගැනීමට පුරුදුව ඇත. ඒ අනුව ගවයන් ආහාර සොයා යෑමේදී ජනතාවට නිරන්තරයෙන් පීඩාවට පත්වීමට සිදුව ඇත.


මේ සෑම තත්වයක් පිළිබඳවම අවධානය යොමු කරමින් රාජ්‍ය හා පළාත්පාලන ආයතන ප‍්‍රමුඛව දියත් කර ඇති මෙම වැඩපිළිවෙලට ජනතා ප‍්‍රසාදය හිමිව ඇත. ඒ අනුව පසුගියදා (20) බස්නාහිර පළාතේ ගවයින් අල්ලා ගාල් කිරීම කැස්බෑව නාගරික බල ප‍්‍රදේශයෙන් ආරම්භ විය. මෙම ප‍්‍රදේශයේ නිදැල්ලේ යන ගවයන් 50 ක් පමණ ඇති බව සමීක්‍ෂණයකින් හෙළිදරව් වී ඇත.


මේ අනුව කැස්බෑව දිසා විනිසුරුතුමාගේ අවසරය ද පරිදි කැස්බෑව ප‍්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිලධාරීන්, දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන්, පශුවෛද්‍ය නිලධාරීන්, පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සද්කාර්යය වෙනුවෙන් සහභාගී වූහ.


මෙසේ අල්ලා ගන්නා ලද ගවයින් ඇඹිලිපිටිය කොවුල්ආර ප‍්‍රදේශයේ අක්කර 100 කින් පමණ සමන්විත, ගව අනාථාගාරයට රැගෙන ගොස් ගාල් කරනු ලබයි. මෙම ගව අනාථාගාරය දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංවිධායක පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්ගේ අධික්‍ෂණය යටතේ පවතී. අනාගාථාගාරය වෙත රැගෙන යන ගවයින් සඳහා අවශ්‍ය රැකවරණය ලබාදී ඉන්පසු විධිමත් වැඩපිළිවෙලක් යටතේ, නායකමාහිමිපාණන්ගේ උපදෙස් මත නැවත ගොවියන් වෙත භාරකිරීමට කටයුතු කරනු ඇත. 
gossip lanka