ආර්ථීකය වැනසූ හිටපු පාලකයින් නැවත බලයට ගේන්න හදනවා

සෞඛ්‍ය සේවාව සදහා ඖෂධ සංයෝජකයින් 336 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 150 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානොත්සවය සහ උපාධි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී සිදූ කෙරිනි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවයට පිවිසීම ඉතාම වැදගත් රාජකාරියක්. රෝගී ජනතාව නිරෝගී කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් පැවැරී තිබෙනවා.
වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් වලට අමතරව සෞඛ්‍ය සේවකයින්ට පිං ලැබෙනවා. එම නිසයි බුදූ රජාණන් වහන්සේ ප්‍රකාශ කළේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා. රාජකාරිය අකුරට ඉටු කරමින් වෘත්තීය සමිති ව්‍යාපාරය දියත් කළ යුතුයි. රෝගී සත්කාරක සේවා කඩාකප්පල් නොකළ යුතුයි. අපි වෘත්තීය සමිති ව්‍යාපාර දියත් කළේ ඒ ආකාරයටයි. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදිය යුතුයි. වෘත්තීය සමිති ඉල්ලන සාධාරණ විසදූම් ලබාදීමට මම කටයුතු කරනවා. ඊට හරස් වන්නේ නැහැ.

ඇතැම් වෘත්තීය සමිති දේශපාලන අරමුණු සදහා වෘත්තීය සමිති ව්‍යාපාරය දියත් කරනවා. ඒ වෘත්තීය සමිති මූලධර්ම වලටත් පටහැනිවයි. හෙද සංගමයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයේ ඉල්ලීම් ද සාධාරණ නැහැ. යහපාලන රජය විසින් රාජ්‍ය සේවයකයින්ගේ වැටුප රුපියල්10,000 කින් වැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සේවකයින්ට පමණක් රුපියල් 3000 ක වැටුප් වැඩිවීමක් ද මම ලබාදූන්නා. නමුත් එම හෙද වෘත්තීය සමිතිය කියන්නේ අතිකාල දීමනා ඉහළ නොදැමූ බවයි. අතිකාල දීමනා වැඩි කිරීම වැටුප් කොමිසම ද පිළීගෙන තිබෙනවා. ඒ සදහා කාලයක් ගත වෙනවා. ඉවසන්න බැරිව වර්ජන දියත් කරනවා. එම හෙද සංගමයේ නායකත්වය උසුලන්නේ භික්ෂූන් වහන්සේ නමක්. උන් වහන්සේ බුදූන් වහන්සේ දේශනා කළ “ආරෝග්‍යා පරමා ලාභා” බුද්ධ වචනයත් ඉවත දමමින් වර්ජන දියත් කරනවා. වෘත්තීය සමිති ක්‍රීයාමාර්ග දියත් කිරීමෙි දී සැළකිළිමත් විය යුතුයි. රෝගියෙක් මියගියහොත් එය පාපකර්මයක්. මම හෙද හෙදියන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස නියෝග කර තිබෙනවා. නීති රෙගුලාසි මත නිලධාරින් එය ක්‍රියාත්මක කිරීමෙි දී ප්‍රමාදයක් තිබෙනවා. නමුත් ඇතැම් වෘත්තීය සමිති දවල් හීන දකිනවා. නව රජය විනාශ කර ආර්ථීකය විනාශ කර දැමූ පසුගිය රජයේ පුද්ගලයින් බලයට ගෙනඒමටයි එම වෘත්තීය සමිතිය ක්‍රියා කරන්නේ

වර්තමාන පාර්ලිමෙින්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාටවත් අද බලයක් නැහැ. ඒ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන්. පාර්ලිමෙින්තුව විසුරුවා හැරීමට පාර්ලිමෙින්තු මන්ත්‍රීවරුන්ගේ 2/3 බලයක් තිබිය යුතුයි. මෙම රජයට ජනවරම ලැබී ඇත්තේ වසර 2020 වනතුරුයි. දේශපාලන ව්‍යාපෘති වල අතිකොලු නොවී වෘත්තීය සමිති කටයුතු කළ යුතුයි. වර්තමානයේ ඇතැම් දේශපාලනඥයින් තම දේශපාලන කටයුතු වෘත්තීය සමිති හරහා සිදූ කරනවා. ඉන් ප්‍රතිඵල කෙටිකාලීනයි. දිර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Previous Post Next Post