ජාතික විගණන පනත මැල්ලුමට කපන්න හදනවා

දුෂිත දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජාතික විගණන පනත ‘මැල්ලුම් ලියන්නා සේ ලියා දමා’ මැල්ලුම් කරන්නට උත්සහ දරන්නේ යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

'හරය, අභිලාෂය සහ සාරය’ විනාශ කරමින් ජාතික විගණන පනත ‘කොස් කොටන්නටවත් බැරි කඩුවක්’ බවට පත් කිරීමට දරණ පැහැදිලි උත්සාහයක් පවතින බව ඒ මහතා අවධාරණය කරයි.

වසර හතරකට වැඩි කලක් සාකච්ඡා කිරීමෙන් පසුව මෙයට මාස 18 කට පෙර ජාතික විගණන පනත අවසන් අවසන් කෙටුම්පත සකස් කරන ලදී.
ඉන් පසුව, අවස්ථා 3 ක දී ජාතික විගණන පනතට විවිධ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තු මගින් විගණන බලය කප්පාදු කරමින් සංශෝධන ඉදිරිපත් කොට තිබේ.

2017 පෙබරවාරි 7 දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නැවතත් ජාතික විගණන පනෙත් ‘හරය, අභිලාෂය සහ සාරය’ දියාරු කරමින් සංශෝධන රාශියක් ඉදිරිපත් කොට ඇත.

අධිභාර පැනවීම:

 මෙම කණ්ඩායමේ මුලික අරමුණ බවට පත්ව ඇත්තේ විගණන පනතේ 21 හා 22 වගන්ති යටතේ වන අධිභාර පැනවීම ජාතික විගණන කොමිෂන් සභාව වෙත පැවරීම ය.

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා සහ රජයේ සමාගම් හි අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය සැලසුම් කිරීම, මැදිහත්වීම, මගපෙන්වීම සහ වෙනත් අනුෂාංගික කටයුතු සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලය මුදල් අමාත්‍යාංශය වෙත ලබා ගැනීම නව යෝජනාව මගින් අපේක්ෂා කෙරේ.

මෙයට පෙර අවස්ථාවකදී ද මුදල් අමාත්‍යාංශයේ චරිත රත්තවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික විගණන පනත දුර්වල කරන සංශෝධන ඉදිරිපත් කරුනු ලැබීය. 

 නාමික ලියවිල්ලක් බවට :

දැන් නව සංශෝධන මගින් පනතේ ඇති සීමිත බලතල පවා කප්පාදු කොට ඒවා මුදල් අමාත්‍යාංශයට ලබා ගැනීමට යෝජනා කිරීම තුල ‘ජාතික විගණන පනත’ නාමික ලියවිල්ලක් බවට පත්වීමත්, විගණකාධිපතිවරයාට අද තිබෙන බලය පවා අහිමිවන තත්වයක් මතු වේ.

ජාතික විගණන පනත තවදුරටත් කප්පාදු නොකර ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කොට ගැනීමට කටයුතු කරන ලෙසත් කැෆේ සංවධානය රජය වෙත බලකර සිටී.
Previous Post Next Post