නෙළුම් කුලුනේ පෙති දිගහැරෙයි

කොළඹ නෙළුම් කුලුනේ නෙළුම් පෙති ඉදිකිරීම ආරම්භ වී ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් ලබන සැප්තැම්බර් මාසය වනවිට අවසන් කෙරුණු ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් 2012 ජනවාරි මාසයේදී ආරම්භ විය.

මෙහි උස මීටර් 350 ක්‌ වන අතර එය දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වේ. මෙය මුලින්ම පෑලියගොඩ ඉදිකිරීමට යෝජනා වුවද පසුව එම ස්‌ථානය ඩී. ආර්. විජයවර්ධන මාවතට ගෙන එන ලදී.

මේ සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 104 කි. මෙම බහු සම්ප්‍රේෂණ කුලුන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර10ක භූමියක බේරේ වැව අද්දර ඉදි කෙරෙමින් පවතී.

මීටර් 350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ද ආසියාවේ පස්වන තැනද ලෝකයේම දහනව වන තැනද හිමිකර ගැනීමටද සමත්වනු ඇත. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ.

කුලුන අධිවේගී විදුලි සෝපාන අටකින් සමන්විත වන අතර, එහි වේගය තප්පරයට මීටර් 07ක් වේ. එම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට තත්ත්පර 45 පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක උසක් ගනු ඇත. නෙලුම් මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයට ම නැරඹුම් මැදිරියක් ද ඇතුළත් වෙයි.

මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙය බහු කාර්යය කුලුනක් ලෙසින් ඉදි කෙරුණද විශේෂ අංග රැසකින් සමන්විත වේ. කුලුනු බඳ තුළ තුන්වන හා හතරවන මහල් දෙක වෙන් වෙනුයේ අමුත්තන් 400කට පමණ සහභාගී විය හැකි උත්සව ශාලා දෙකක් වෙනුවෙනි.  එය කුලුනේ මීටර් 225ත් 330ත් අතර උසකින් පිහිටා ඇත.

මෙහි පස්වන මහල මීටර් 234ක උසින් වන කැරකෙන භෝජනාගාරය සඳහා වෙන් වෙන අතර, එහි අමුත්තන් 300කට පමණ පහසුකම් සලසනු ඇත. මෙහි හය වන මහල මීටර් 239ක් උසින් යුතු වන අතර, එය රාජ්‍ය අමුත්තන් සඳහා විශේෂිත කාමර පෙළකින් යුතු වේ. කුලුනේ සත්වන මහල මීටර් 244ක උසින් යුතු කොටස වෙන් වෙනුයේ නැරඹුම් මහල වෙනුවෙනි. මෙහි අටවන හා නව වන මහල් දෙක වෙන් වෙනුයේ යන්ත්‍රාගාර කාමර වෙනුවෙනි.

මෙහි පළමු මහල සහ දෙවන මහල තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන්  විදුලි සංදේශ සේවා සපයන්නන් සහ ගුවන් විදුලි සේවා සපයන්නන් සඳහා අවශ්‍ය විකාශනාගාර පහසුකම් සැපයීමට වෙන් කෙරේ. මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ එකම ස්ථානයකට ගෙන ඒමට දායකත්වය සපයනු ඇත. එමගින් සෑම ශ්‍රාවයකුටම හා ප්‍රේක්ෂකයකුට ම සමාන ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබාදීමට හැකි වන බවත්, සම්ප්‍රේෂණය එකම ස්ථානයකින් සිදුවන බැවින් හොඳ සංඥා ලබා ගැනීම සඳහා ඇන්ටනාවේ දිශාව වෙනස් කිරීම අවශ්‍ය නොවන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

නෙලුමේ හැඩය, පෙත්තක ප්‍රමාණය (කුලුනු ගෙය - අඩි 75 - අඩි 40 අතර ද කුලුනු පාදම අඩි 15 - අඩි 25 ත්) අතර ගනී. මෙම කුලුනේ යටමහලෙහි මුළුතැන් ගෙය හා යන්ත්‍රෝපකරණ කාමර වෙනුවෙන් වර්ග අඩි  48500ක ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරේ. බිම් මහලේ ප්‍රධාන පිවිසුම හා භාණ්ඩ මිලදී ගැනීම් සඳහා වර්ග අඩි 52500ක ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරේ. පළමු මහලේ පළමු වෙළඳ සැල් කලාපය සඳහා වර්ග අඩි 44500 වෙන් කොට ඇත. දෙවන මහලේ දෙවන වෙළඳ සැල් කලාපය සඳහා වර්ග අඩි 52000ක ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇත. එමෙන් ම විවේක කටයුතු සඳහා කුලුනු වහල මත වර්ග අඩි 54000 ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇත.

නෙලුම් කුලුනේ ඇන්ටනා කුඹය වෙන් වෙනුයේ එෆ්.එම්.නාලිකා 40කටත්, රූපවාහිනී නාලිකා සංඛ්‍යාංක 50ක් සඳහාත් ය. ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන කුලුනක් සඳහා ඉදි කළ විශාලත ම තනි අත්තිවාරම මෙම කුලුන වෙනුවෙන් යොදා ඇත. මීටර් 43 විශ්කම්භය හා මීටර් 3ක උස ඇති මේ මහා පදනම සඳහා කොන්ක්‍රීට් ඝන මීටර් 4000ක් යොදා ගෙන ඇත. කුලුනු පදනම (බිම් මට්ටමේ ගොඩනැගිල්ල) වර්ග අඩි 200,000 පමණ බිම් පෙදෙසක හා මහල් හතරක් පුරා විහිදෙන කුලුනු පදනම මාස තුනක් ඇතුළත නිම කෙරිණ.
Previous Post Next Post