උපුල්ගේ පිත්ත ක්‍රියාත්මක වූ හේතුව හෙළිකරයි

පසුගිය අට මාසය පුරාවට දිගින් දිගටම තමාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරාගැනීම හේතුවෙන් සිය පිතිකරණය වඩාත් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග පවසයි.

ක්‍රික්ඉන්ෆො වෙබ්අඩවිය වෙත අදහස් දක්වමින් තරංග පවසා ඇත්තේ පසුගිය අට මසක් පුරාවට දිගින් දිගටම ක්‍රීඩා කිරීම සිය මානසික තත්ත්වයට හේතු වූ බවයි.
“තේරීම් නිලධාරීන්ට මං ගැන විශ්වාසයක් ඇති බව මට දැනුනා. විශේෂයෙන් සිම්බාබ්වේ තරගාවලියේදී හොඳ පන්දුයවන්නන්ට හමුවේ ලකුණු ගන්න පුළුවන් වීමත් එක්ක මගේ ආත්ම විශ්වාසය වැඩිවුණා,” යැයි ඔහු පවසයි.

“පසුගිය අවුරුදු දෙක තුනේදී මම කණ්ඩායමට එක්වුනේ අතරින් පතර. එක තරගාවලියක් සෙල්ලම් කළාට පස්සෙ ඊළඟ එකෙන් හැලෙනවා. ක්‍රීඩකයෙකුට එහෙම වුනාම ආත්ම විශ්වාසය තියාගන්න අමාරුයි.

සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන තරංග, පහුගිය කාලයේදී පිතිකරු ලැයිස්තුවේ ස්ථාන කිහිපයක ක්‍රීඩා කර තිබේ. සිම්බාබ්වේ හි දී අංක 5ට ද දකුණු අප්‍රිකාවේදී අංක 07ට ද ක්‍රීඩා කළ ඔහු යළිත් ආරම්භ පිතිකරු ලෙස කටයුතු කරයි.

මේ පිළිබඳව තරංග අදහස් දක්වා ඇත්තේ මෙසේය.

“පිතිකරු ලැයිස්තුවේ තැනින් තැනට මාරු වීමේදී තරමක් අසීරුයි. මොකද ආරම්භක පිතිකරුවෙකු විදියට හා මැදපෙළ පිතිකරුවෙකු විදියට සෙල්ලම් කරන්න වෙන්නෙ දෙවිදියකට. ක්‍රීඩකයෙක් විදියට මං කැමති මගේ පුරුදු තැන, ඒ කියන්නේ ආරම්භක පිතිකරුවෙක් විදියට සෙල්ලම් කරන්න. එහෙම සෙල්ලම් කරද්දි මට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒත්, අන්තිමේදි කරන්න ඕන කණ්ඩායමට හොඳම දේ නෙ. ඒ දේ කරන්න මම සතුටුයි.”
Previous Post Next Post