බැඳුම්කර කෝප් වාර්තාව සී.අයි.ඩී.යට

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එවන ලද ලිපිය කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සභාගත කළේය.

‍පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව කළ පරීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවේද අනුමැතිය සහිතව නීතිපතිවරයා වෙත යොමු කළ බවත් ඒ අනුව නීතිපතිවරයාගේ පිළිතුර පාර්ලිමේන්තුවට එවා ඇති බවත් කථානායකවරයා නිවේදනය කළේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන කෝප් කමිටුව වාර්තාව ඉදිරි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව නීතිපතිවරයා සභාගත ලිපියේ දැක්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් වීමෙන් පසු අවශ්‍ය නීති පියවර ගන්නා බවද නීතිපතිවරයාගේ ලිපියේ දක්වා ඇති බව මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
Previous Post Next Post