GSP+ ගන්න ජිනීවා යෝජනාවලට ප්‍රමුඛතාවයක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු බව ශ්‍රී ලංකා රජය පිළිගෙන තිබේ.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය එක්ව ප්‍රකාශයට පත්කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙයි.
යුරෝපා සංගමය යටතේ නීතිය, සාමය හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් ලෙස  ශ්‍රී ලංකා රජය-යුරෝපා සංගමය ඒකාබද්ධ කොමිසමේ මාර්තු 13-14 යන දෙදින පැවති රැස්වීමෙන් අනතුරුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

වරණීය බදු සහනය හෙවත් GSP+ ලබාදීමේදී මානව හිමිකම් ක්ෂේත්‍රයේ දී ඇති පොරොන්දු ඉටුකිරීමේ නිශ්චිත ප්‍රගතියක් අත් කරගැනීමේ අවශ්‍යතාව යුරෝපා සංගමය විසින් මෙමගින් ශ්‍රී ලංකාවේ රජයට අවධාරණය කර ඇත.

කඩිනම් හා නිශ්චිත ප්‍රගතියක් ඉල්ලයි :

මානව හිමිකම් උල්ලංඝන නිසා අත් හිටුවන ලද බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ප්‍රදානය කිරීම සලකා බැලීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කොළඹදී රජය සමග පැවති එම සාකච්ඡාවකදී, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කඩිනම් හා නිශ්චිත ප්‍රගතියක් අත් කරගත යුතු බව ද අවධාරණය කර තිබේ.

එම ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන්  පරිදි GSP+ සහනය ලබා දීම සම්බන්ධ යුරෝපා කොමිසමේ තක්සේරුව සාකච්ඡා කර යුරෝපා පාර්ලිමේන්තුව සහ කවුන්සිලය තීරණයකට එළැඹෙන්නේ මැයි මස මැදදී ය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ පනවන ලදුව හත් වසරක් තිස්සේ යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කෙරුනු GSP+ වරණීය බදු සහන තහංචිය ඉවත් කිරීමට යුරෝපා කොමිසම විසින් නිර්දේශ කරන ලද්දේ මේ වසර මුලදීය.

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ අතරින් 66% කට පනවා තිබූ රේගු බදු ඉවත් කෙරෙන GSP+ සහනය නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සිව් මසක කාලයක් තිබෙන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබුනි.

ජිනීවා යෝජනාව :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් 2015 ඔක්තෝබරයේ ජිනීවාහි දී සම්මත කරගන්නා ලද යෝජනාව අංග සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමද ප්‍රමුඛතාවක් ලෙස තවමත් පවතින බව දෙපාර්ශවය විසින් පිළිගෙන ඇත.

වධහිංසාව, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩතා සහ දූෂණ වංචා මැඩීමට පියවර ගැනීමේ අවශ්‍යතාව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ රජයට අවධාරණය කර තිබේ.

ප්‍රකාශනයේ සහ ජනමාධ්‍යයේ නිදහස, සිවිල් සමාජය සවිමත් කිරීම, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ අයිතිවාසිකම් නගා සිටුවීම, කිසිදු හේතුවක්  නිසා වෙනස් කොට නොසැලකීම, ඉඩම් ආපසු පැවරීම වේගවත් කිරීම කම්කරු අයිතීන්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති සහ නීතියේ ආධිපත්‍යය ක්‍රියාවේ යෙදැවීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතියත් අනාගත අභියෝගත් සාකච්ඡාවට විෂය වී තිබේ.

යුරෝපා සංගමයේ විදේශ සේවාවේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පඕලා පම්පලෝනි ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත මණ්ඩලය සමග සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය සපයා ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ යුරෝපා සංගමය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජෙනරාල් ඒඑල්ඒ අසීස්ය.

දේශපාලන කැපවීම:

ක්‍රියාකාරී කමිටුව විසින් සාකච්ඡාවට ගන්නා ලද ක්ෂේත්‍ර වල ප්‍රගතියක් අත් කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පිළිබඳව අගමැති වරයාත් විදේශ අමාත්‍යවරයාත් යුරෝපා සංගමයට සහතික වූ බව ඒකාබද්ධ නිවේදනය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කිහිපයක් නීතිගත කිරීමෙන් ද, තොරතුරු දැනගැනීමේ පනත සහ අතුරුදහවුවන් පිලිබඳ කාර්යාලය පිලිබඳ නීති සම්මතයෙන්ද ව්‍යවස්ථා සම්පාදන කාර්යාවලියේද ශ්‍රී ලංකාව අත් කරගෙන තිබෙන ප්‍රගතිය යුරෝපා සංගමයේ ප්‍රශංසාවට හේතු වී තිබේ.

මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා GSP + බදු සහනය යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලද්දේ 2010 දීය.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොල වූ යුරෝපා සංගමයට 2015 යැවුනු ඇඟලුම්, රබර් නිෂ්පාදන සහ යන්ත්‍රෝපකරණ මුල් කොටගත් නිෂ්පාදන වල වටිනාකම යුරෝ කෝටි 26ක් විය.
Previous Post Next Post