හම්බන්තොට සංවර්ධනයට විරුද්ධ පාද යාත්‍රා ගිය පිරිසයි

හම්බන්තොට සංවර්ධනයට අද විරුද්ධ එදා තමාගේ පියාට එරෙහිව පාද යාත්‍රා ගිය පිරිස බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

''එදා මගේ පියා ඇඟලුම් කර්මාන්ත 200 වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කර තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට කටයුතු කරද්දී ඊට එරෙහිව අපහාස පරිභව කරන්නට පාද යාත්‍රා යන්නට පෙලඹුණු පිරිසක්ද හිටියා. ප්‍රේමදාස සුද්දියන්ට යට ඇඳුම් මස්සවන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදවන බව කිව්වා.
අද ඔබේ නිවාසවලටත්, ඉඩම්වලටත් අබමල් රේණුවක හානියක් නොවන පරිදි හම්බන්තොට දැවැන්ත කර්මාන්ත පුරයක් ඉදිකරන්නට යන විට ඊට විරුද්ධවත් පෙළපාළි යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුප්පත් පවුල්වලට රැකියා තුන හතරක් හිමිකර ගැනීමට සැලසෙන අවස්ථාවට එරෙහිවයි මේ ඊර්ෂ්‍යාව.'' යයි ඔහු කියා සිටියේ, හම්බන්තොට ගල්වැව, සත්මිතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පසුගිය 08දා පැවැති උත්සව සභාව අමතමිනි.

ලුණු වලින් ස්වයං පෝෂිතයි :

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට හම්බන්තොට ලුණු ලේවාය රුපියල් ලක්ෂ 3,000ක් ණය වී තිබූ බවත් අද වන විට එම ණය සියල්ල ගෙවා අවසන් කොට රුපියල් ලක්ෂ 8,800ක ශුද්ධ ලාභයක් උපයන තත්ත්වයට පත් කර ඇති බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසිය.

එම ලාභයෙන් කොටසක් ලේවාය වැඩි දියුණු කිරීමටත් තව කොටසක් සේවක සුබසාධනය වෙනුවෙන් ආයෝජනය කරන බව සඳහන් කල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ජපන් ආධාර ඇතිව ලේවාය වැඩිදියුණු කර වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ලබාදී ලුණු අපනයනය කර ඉන් ලැබෙන විදේශ විනිමය යොදා හම්බන්තොට ප්‍රදේශය දියුණු කිරීම තම අපේක්ෂාව යැයිද ප්‍රකාශ කරයි.

''ජපාන රජයේ ආධාර ඇතිව මේ ලුණු ලේවාය වැඩිදියුණු කිරීමටත් අප අදහස් කරනවා. එහි වැඩි වැඩියෙන් රැකීරක්ෂා ලබා දීමටත්, මෙහි ලුණු අපනයනය කර ඉන් ඉපැයෙන විදේශ විනිමයෙන් හම්බන්තොට ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත කර්තව්‍යයක් ඉටු කිරීමත් අපේ අරමුණයි.'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Previous Post Next Post