බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ (82) අද(18) අපවත් වූහ.

රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියහ.

එදිරිමුණි බී ද සිල්වා හෙවත් කුරුඳු මුදලාලි සහ ලද්දු එමිනෝනා දෙමාපියන්ට දාව 1936 මාර්තු 3 වැනිදා එදිරිමුණි ඇක්මන් ද සිල්වා නමින් බලපිටිය බ්‍රාහ්මණවත්තේ උපත ලද උන්වහන්සේ කුඩා කල බලපිටිය රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.
එවකට යාපනය නාගදීපයේ නායක හිමියන්වූ බ්‍රාහ්මණවත්තේ ධර්මකීර්ති හිමියන් යටතේ 1951 වසරේ දී පැවැදි දිවියට පත්වූ සීවලී හිමියෝ දෙමළ භාෂාව පිළිබඳ හසල ඥානයකින් යුක්ත වූහ.

විද්‍යාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ සීවලී හිමියෝ යක්කඩුවේ ප්‍රඥාරාම වැනි වියත් හිමිවරුන් හමුවේ ශිල්පය ලැබූහ. පොළොන්නරුව ගිරිතලේගම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත්වීම ලැබූ උන්වහන්සේ කුලියාපිටිය නක්කවත්ත, පොතුවිල් ලාහුගල, කඩවත කිරිල්ලවල මහා විද්‍යාලය ආදී විදුහල්වලද ගුරුවරයකු ලෙස සේවය කළහ.

1966 දී ඉන්දියාවේ මධුරෙයි විශ්ව විද්‍යාලයේ දී දෙමළ මාධ්‍යයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ සීවලී හිමියෝ පසු කලෙක එම විශ්ව විද්‍යාලයෙන්ම ආචාර්ය උපාධිය ද ලබාගත්හ.

කොටි ත්‍රස්තවාදීන්ගේන් යාපනය නාගදීප විහාරය බේරාගැනීම උදෙසා යුද සමයේ දැඩි කැපවීමක් කළ හිමිනමක් ලෙසද බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ගේ නම ඉතිහාසයට එක්වේ. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සඳහා දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වීමට ද උන්වහන්සේ සමත් වූහ.

උන්වහන්සේගේ දේහය කොළඹ බේස්ලයින් පාරේ නාගදීප ශාඛා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර අදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.
Previous Post Next Post