ඇමරිකානුවෝ ලොව දැවැන්තම බෝම්බය ඇෆ්ඝනිස්ථානයට අතහරිති

පරමාණු බෝම්බයට පමණක් දෙවැනි වන නමුත් ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලද දැවැන්තම බෝම්බය ඇමරිකානු යුද හමුදාව විසින් අද (14 වැනිදා) අලුයම ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරට මඳක් නැගෙනහිරට වන්නට පතිත කරන ලදි. ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන අයිසිස් ත්‍රස්තවාදීන්ගේ උමං මාර්ග ඉලක්ක කරමින් මෙම බෝම්බය පතිත කර තිබේ.
ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි මෙවැනි ආයුධයක් යුද්ධයකදී භවිතා කර ඇත්තේ පළමු වතාවටය.
ජී.බී.යූ.-43/බී යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය දැවැන්ත යුද්ධෝපකරණ වලින් යුත් ගුවන් බෝම්බයක් (GBU-43/B Massive Ordnance Air Blast Bomb) වන අතර එහි අන්වර්ථ නාමය වන්නේ සියලු බෝම්බ වල මව හෙවත් (MOAB) යන්නයි. අඩි 30 දිගකින් යුත් මෙම බෝම්බයේ බර රාත්තල් 21,600 කි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් මෙම බෝම්බය හෙළීම හඳුන්වා ඇත්තේ “තවත් සාර්ථක වැඩක්” යනුවෙනි.
ඇෆ්ඝනිස්ථානයේ රඳවා ඇති ඇමරිකානු ගුවන් හමුදාවට අයත් MC - 130 වර්ගයේ ගුවන් යානයකින් මෙම බෝම්බය බිම හෙළා තිබේ. ඇමරිකානු බලධාරීන්ට අනුව මෙම බෝම්බයේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ඝනිස්ථානයේ නගර්හාර් පළාතේ අචින් දිස්ත්‍රික්කයේ පිහිටි උමං සංකීර්ණය සහ එහි සිටින පිරිසයි. මෙම ප්‍රදේශය පාකිස්තානු දේශ සිමාවට ඉතාම ආසන්නයේ පිහිටියකි.

“අයිසිස් ත්‍රස්තවාදී සමග කරන සටන අපි ඉතාමත් බරපතළ ආකාරයටයි සලකන්නේ. ඔවුන්ව පරාජය කරන්න නම් ඔවුගේ මෙහෙයුම් ස්ථාන අහිමි කරන්න ඕනෑ. අපි දැන් කරලා තියෙන්නේ ඒකයි” යයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් මහතා පැවසීය.
“මෙම උමං සංකීර්ණය නිසා අයිසිස් ත්‍රස්තවාදීන්ට තමන්ගේ මෙහෙයුම් කටයුතු නිසිපරිදි කරගැනීමටත් මෙහෙයුම් ස්ථාන අතරේ නිදහසේ එහා මෙහා යාමටත් අවස්ථාව තියෙනවා” යයිද ධවල මන්දිර මාධ්‍ය නිලධාරියා පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ඇෆ්ඝනිස්ථානු තානාපති හම්දුල්ලා මොහිබ් මහතා සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ එක්සත් ජනපද විශේෂ කාර්ය සාධක බලකාය සහ ඇෆ්ඝන් හමුදා එක්ව අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරගෙන යන සටන පසුගිය සතියේ උත්සන්න වූ බවත් මෙම බෝම්බය පතිත කිරීම එහි ප්‍රතිඵලයක් බවත්ය.
“එක්සත් ජනපද සහ ඇෆ්ඝන් හමුදාවලට ඉදිරියට යන්න බැරිවුණේ අයිසිස් ත්‍රස්තවාදීන් එම ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වළදමා තිබුණ නිසයි. මේ බෝම්බය අතහැරියේ එම ප්‍රදේශය සුද්ධ කරගන්නයි” යයිද මොහිබ් මහතා පැවසීය.
මෙම ප්‍රහාරය සඳහා තමන් සිය අත්සන යොදා අනුමැතිය දුන්නේද යන්න ස්ථිරව ප්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පැකිළුණේය. එහෙත් ඔහු කීවේ මෙවන් කතාවකි.
“මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හැමෝම දන්නවා. මට කරන්න තියෙන්නේ හමුදාවලට අණ දීම සහ අනුමත කිරීම පමණයි” යයි ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවසීය. කෙසේ වෙතත් ඇමරිකානු හමුදා රඳවා ඇති ස්ථාන වලදී කිසියම් සීමාවක් දක්වා ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හමුදා අධිකාරීන් වෙත පවරා දී තිබේ.
GBU - 43/B යනුවෙන් නම්කර ඇති මෙම බෝම්බය 2003 දී ඉරාක යුද්ධය වෙනුවෙන් නිෂ්පාදනය කළ එකකි. එහි විශේෂත්වය වන්නේ පොළොවට පතිත වීමට මොහොතකට පෙර එය පුපුරා යාමයි. එමගින් බෝම්බය පතිත වන ප්‍රදේශය වටා මහත් විනාශයක් කිරීමට මෙම බෝම්බයට පුළුවන.
මෙම බෝම්බය මගින් වන අති මහත් විනාශය නිසා සටනකින් තොරවම යටත් වීමට තරම් සතුරා අඩපණ කළ හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් පොළව මතුපිට තිබෙන ආස්තරණය විනිවිද යමින් භූගත බංකර් වලට පවා පහර දීමේ හැකියාව මෙම බෝම්බයට තිබේ.
රාත්තල් 21,600 ක බරකින් යුත් මෙම බෝම්බයේ පුපුරන ද්‍රව්‍ය රාත්තල් 18,000 කි. එය පුපුරා යාමේදී ඇතිවන බලපෑම න්‍යෂ්ඨික බෝම්බයක බලපෑමට මඳක් අඩුවෙන් පවතී.
කෙසේ වෙතත් මෙම බෝම්බය පිපිරීමෙන් ඇතිවූ විනාශය හෝ මරණ සංඛ්‍යාව තවමත් ගණන් බලා නැත.

සී. එන්. එන්. (වොෂින්ටන්)


Previous Post Next Post