ලංකාවේ ගෘහ සේවයටත් නීති අවශ්‍යයි

දේශීය ගෘහ සේවකයින් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ගෘහස්ථ කම්කරු සංගමය ප්‍රකාශ කරයි.  එම සංගමයේ සභාපතිනි රාජගෝපාල් සත්‍යවානී මහත්මිය මහනුවර දී  පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කීවාය.

ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින් සේවක පිරිසක් ලෙස රජය පිළි නොගැනීම  මෙන්ම ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය සදහා කිසිදු නීතියක් නොමැති වීම ගැටළුවක් බව එම සංගමය කියා සිටියි.
ගෘහ සේවකයින්ට අවම වැටුපක් නැති බවත් නිසි සේවා වේලාවක් නැති බවත්  සත්‍යවානී මහත්මිය පවසයි.

“රජය නිකුත් කර ඇති අවම කම්කරු වැටුප් පනතේ තියෙනවා ගෘහ සේවකයින් මෙම පනතට අදාළ නොවන බව. ඒකෙන්ම පේනවා. ගෘහ සේවකයින්ට මේ රජය සලකන්නේ නැති බව,අපි  ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් නීතියක් සකස් කරන්න කියලයි.''

ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින්ගේ අවම වැටුප , උපරිම සේවා කාලය මෙන්ම අනෙකුත් සුබ සාධන කටයුතු ගැන සහතික කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
Previous Post Next Post