"වාසි ගොඩයි" - මහින්ද කියයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, බලශක්ති හා නව තාක්ෂණය දියුණු කිරීම සඳහා ආධාර දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී එකඟ වී තිබේ.

ඒ අනුව රුසියානු ආධාර ලබාගත යුතු අංශ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ළඟදීම කමිටුවක් පත්කරනු ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසී ය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ ආරාධනය පරිදි රුසියාවේ නිල සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර ගත් බව ද ජනාධිපතිවරයා සමඟ එම නිල සංචාරයට සහභාගි වූ මහින්ද සමරසිංහ ඇමතිවරයා පැවසී ය.

නායකයින් දෙදෙනා අතර පැය 2 ½ කට ආසන්න කාලයක් පැවැති නිල සාකච්ඡාවේදී රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තවත් වර්ධනය කිරීම පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කොට ඇත. ඒ සඳහා රුසියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට ද නායකයින් දෙදෙනා එකග වී තිබේ.

නිල සංචාරයක් සඳහා රුසියානු රජයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ආරාධනයක් ලැබී ඇත්තේ වසර 43කට පසුවය.  මීට පෙර එසේ නිල සංචාරයක යෙදී තිබෙන්නේ සිරි‍මාවෝ බණ්ඩාරනායක අගමැතිනියයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල සංචාරය සඳහා සියලු පහසුකම් සපයනු ලැබුවේද රුසියානු රජය විසින් යැයි ද මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 

යහපත් කාලවලදී මෙන්ම අපේ රටට ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න ඇතිවූ අවස්ථා වලදීත් රුසියාව ශ්‍රී ලංකාවට උදව් කළ බවත් රුසියාව ශ්‍රී ලංකාවේ කළ්‍යාණ මිත්‍රයෙක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනඥයෙකුට වඩා ඉහළින් සිටින යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. එතුමාට ලෝකයේ සෑම රටකින්ම ඉහළ පිලිගැනීමක් තිබෙන්නේ ඒ නිසාය. ජනාධිපති පදවියට පත් වී වසර 2ක් ඇතුලත රුසියාව වැනි ලොව ප්‍රබලම රටකට ජනාධිපතිවරයෙකුගෙන් නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට එතුමාට ආරාධනයක් ලැබීමෙන්ද එය පැහැදිලි වෙනවා“ යැයි මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
Previous Post Next Post