ජවිපෙ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වර්ජනයට සැරසේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබේ.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීම කිහිපයක් අද (04) හෙට හා අනිද්දා දිනයන්හි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව තුලදී පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගී නොවීමට එහි සාමාජිකයකු වන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇතැයි ද පැවසේ.
කෙසේවුවද කල සොයා බැලීමකදී අනාවරණය වුයේ ඔහු අප්‍රේල් විරු සමරු වැඩසටහන සංවිධානය කිරීම සඳහා කොළඹින් බැහැරට යන බැවින් මෙම රැස්වීමට සහභාගී නොවන බවයි.

දිනේෂ් ගෙන් විරෝධයක් :

මේ අතර අද පැවැත්වෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී අගමැතිවරයාට එරෙහිව විරෝධයක් මතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.

ඒ, පසුගිය සඳුදා (27) දිනයේ දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායක ආර්. සම්බන්දන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති මනෝ ගනේෂන්, ඇමැති රිෂාද් බදියුදීන් සමඟ නව ව්‍යවස්ථාව පිළිබඳ රහස් සාකච්ඡාවක් පවත්වා තිබීම සම්බන්ධයෙනි.

වහාම එම රහස් රට හමුවේ හෙළිකරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැත්වෙන මෙහෙයුම් කමිටු රැස්වීමේදී බලකර සිටීමට නියමිතය.

ජනපතිගෙන් කොළ එළියක් ?

මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා වන කටයුතු කඩිනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

පසුගිය සඳුදා (27) දිනයේ දී අගමැති ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමග පැවති සාකච්ජාවේදී එම ඉල්ලීම කර තිබේ.

එම අවස්ථාවේ දී බලය බෙදාහැරීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටු වාර්තා සියල්ල තමා වෙත ලැබීමට සලස්වන ලෙස ද ඉල්ලා තිබේ.

මෙහි දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී ජනමත විචාරණයක් අවශ්‍ය බවට තර්කයක් මතුව තිබුණත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශේෂඥයන් ජනමත විචාරණයකින් තොරව මෙම බලය බෙදාහැරීමේ නව වගන්ති සම්මත කරගත හැකි බව පෙන්වා දී ඇති බවය.

 ඒ අනුව  ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නව කෙටුම් පතක් සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළ හැකි බවත් ඔහු පවසා ඇත.
Previous Post Next Post