අගමැති බලතල අස්සේ ශ්‍රීලනිප ඇමති සිහින බොදවෙයි

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පසුගිය දින වල රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ ඇමතිමණ්ඩල සංශෝධනය. ඔන්න වුණා මෙන්න වුණා ජනාධිපතිතුමා රුසියාවේ ගිහින් ආව ගමන් සිදු කරනවා වගේ විවිධ කතන්දර පැතිරුනා. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කොතරම් පාරම් බෑවත් ඇමති මණ්ඩල සංශෝධනයක් කරනවා, අහවලා ඉවත් කරනවා කියලා ඒ අය නොදන්න කාරණය තමයි 19 වන සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාට ඇමති මණ්ඩලය සංශෝධනය කරන්න බෑ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 වගන්තිය යටතේ අමාත්‍යාංශ ගණන තීරණය කරන්නේ ජනාධිපතිතුමා නමුත් 43/2 යටතේ අමාත්‍යංශ වලට ආදාල ඇමතිවරයා පත්කල යුත්තේ අගමැතිතුමාගේ උපදෙස් මතයි ජනාධිපතිවරයා පත්කල යුත්තේ. මේ කාරණය නොදන්නා නිසා තමයි ශ්‍රිලනිප ඇමතිවරු තමන්ගේ ජනාධිපති ලවා ඇමති මණ්ඩල මාරුවක් කරලා එජාපයේ සිහින ආමාත්‍යාංශ තමන් සතු කර ගන්න සිහින මැවුවේ.

19 වන සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ පිවිතුරු හෙළ උරුමය විදිහට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දී අභියෝගයට ලක් කරලා අපි කිව්වා ජනමත විචාරණයක දී ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දුන් බලයක් අගමැතිවරයාට පවරනවා නම් ඒකට ජනමත විචාරණයකට යා යුතුයි කියලා. මේක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ඒක නිසා තමයි 43/1 යටතේ අගමැතිට දීලා තිබුණු බලයක් නැවත ජනාධිපතිවරයාට ආවේ. නමුත් 43/2 බලය නැවත ජනාධිපතිට දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අතපසු වීමක් සිදුවෙලා තියෙනවා. මේ අතපසු වීම නිසා තමයි අද ඇමතිමණ්ඩල සංශෝධනය කර ගන්න බැරුව ශ්‍රිලනිප නායකයින් සහ ජනාධිපතිතුමාත් ලතවෙන්නේ. ඒ නිසා 19 වන සංශෝධනයෙන් පසු ජනාධිපති සහ අගමැතිගේ අනුමැතියක් නොමැතිව ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කල නොහැක. අපිට කියන්න තියෙන්නේ දෙදෙනාගේම අනුමැතිය ඇමති මණ්ඩල සංශෝධනයට අවශ්‍ය නිසා එජාප ඇමතිධුර ශ්‍රිලනිපයට දිනා ගැනීමේ සමහර ශ්‍රිලනීප ඇමතිවරුන්ගේ සිහින සදහටම බොදවී ඇතිබවයි.

අපි දකින විදිහට නම් ඇමතිවරු මාරු කිරීම රටේ ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි. ඒක හරියට හිසේ කැක්කුමට කොට්ටේ මාරු කලා වගේ වැඩක්. දෙපැත්තේම ඇමතිවරු අසමත් නිසා ඇමතිවරු මාරු වුනා කියලා වැඩක් වෙන්නේ නෑ. උදාහරණයක් ලෙස මුදල් ඇමතිධුරය වර්තමාන විදේශ ඇමතිවරයාට ලබා දී මුදල් ඇමතිතුමාට විදේශ කටයුතු ආමාත්‍යාංශය ලබා දෙනවාය කියලා. දෙන්නම අසමත්. මුදල් ඇමති ගත්තොත් ජනතාව මහා බදු බරක පටවලා ජිවන වියදම වැඩිකරලා හොදට දිව්ව ආර්ථිකය ඇදගෙන වැටෙන තැනට පත් කරලා තියෙනවා. විදේශ ඇමතිතුමා ශ්‍රිලංකාව වෙනුවෙන් පෙනි සිටි ජාත්‍යන්තර මිත්‍රසමාජය සම්පුර්ණයෙන්ම කුඩු පට්ටම් කරලා කොටි සංවිධානයේ වල්ගයක් බවට පත් කරලා තියෙනවා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටක් තමන්ට විරුද්ධව ගෙනාව යෝජනාවක සම අන්‍රග්‍රහකත්වයට ගෙන යන තරමේ තකතීරු වැඩක් කරලා තියෙනවා. මේ නිසා මේ දෙදෙනා අතර අමාත්‍යංශ මාරු කර ගත්තා කියලා වෙනසක් සිදු වන්නේ නෑ. එතන අසමත් වගේම මෙතනත් අසමත් තමයි. ඒ නිසා රටට අවශ්‍ය ඇමතිමාරුවක් නෙවෙයි වැඩබැරි ආණ්ඩුව ගෙදර යනවා ආණ්ඩු මාරුවක් කියන එක අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා.

– අරවින්ද අතුකෝරල
Previous Post Next Post