බැඳුම්කර සමාගම බැංකුවක් ගන්න යනවා - ජවිපෙ

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ 'පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම' නිවාස සංවර්ධන අධිකාරිය සතු ආයතනයක සියයට 10ක කොටස් මිලට ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, 'දූෂණ විරෝධී හඬ' කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.

රජයට අයිති නිවාස අධිකාරියට අයත් ආයතනයක කොටස් පෞද්ගලික ආයතනයකට පවරා ගැනීම ආණ්ඩුවේ අවසරය නොමැතිව කළ නොහැකි බව සමරසිංහ මහතා පැවසිය.
ඒ සඳහා ආණ්ඩුවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබාදී ඇති බවද ඔහු කියා සිටියේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වන විට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් මිලදී ගැනීමට සූදානම් බවත් ඒ සඳහා විශේෂ සාකච්ඡා මේ දිනවල සිදුවෙමින් පවතින බවත් සමරසිංහ මහතා හෙළිදරව් කරයි.

අර්ජුන්ට රැකියාවක් :

'පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම' අර්ජුන් ඇලෝසියස් මහතාට හිමි සමාගමක් වන අතර ඔහු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාවේ.


සමරසිංහ මහතා පවසන පරිදි එවැනි බැංකුවක හිමිකාරිත්වය ලබා ගැනීමෙන් පසු එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්විය හැකි අවස්ථාව ගොඩනැඟෙන අතර රැකියාවක් නොමැතිව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලයට සුදුසුකම් ලැබීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

මීට පෙර දේශීය රාජ්‍ය බැංකුවක සියයට 10ක කොටස් මිලට ගෙන ඒවා තවත් කල්බදු සමාගමකට ආයෝජනය කළ ආකාරයටම අදාළ පෞද්ගලික බැංකුවත් සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට මහේන්ද්‍රන් පවුලේ ඉලක්කය බවද හෙතෙම සඳහන් කරයි.

කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම :

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සේවක අර්ථ සාධක අරමුදලට පාඩු කළ රුපියල් කෝටි 1500ට අධික කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට බැංකු ක්‍ෂේත්‍රය ගොදුරු කරගන්නවා පමණක් නොව මාධ්‍ය ආයතන මිලට ගැනීමත්, පුවත්පත් ආරම්භ කිරීමත් අතර නව හෙළිදරව්වක් ලෙස එක් පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට ණය දෙන මුවාවෙන් රුපියල් මිලියන 500ක් ඔවුන්ට ලබාදී ඇති බවත්, එය ණය මුදලක් නොව අදාළ නාළිකාව ඔවුන් යටතට පවරා ගැනීමේ ක්‍රියාවලියක් බවත් ඔහු වැඩිදුරටත් කියයි.
Previous Post Next Post