අර්ජුනගෙන් තවත් කොන්දේසියක් ?

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනවා නම් ආයෝජකයන්ට අඩු ප්‍රමාණයක් ලබා දී ආණ්ඩුව වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ කීවේ පෙරේදා (17දා) වරාය අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකදීය.

වරාය අධිකාරියේ සේවකයින්ගේ වගකීම විය යුත්තේ වරාය අධිකාරිය ආරක්ෂා කර ගැනීම බවත්, තමාගේ වගකීම වන්නේ එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව කැබිනට් මණ්ඩලය හා රට දැනුවත් කිරීම බවත් ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

තීරණාත්මක වර්ෂයක් :

''පසුගිය වසරේ වරාය අධිකාරිය ප්‍රශ්න රාශියකට මුහුණ දුන්න ආයතනයක් බවට පත්වුණා. ඒ වගේම වරාය අධිකාරිය සතු ප්‍රධාන සාධක පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඉදිරියේදීත් අපට ප්‍රශ්න සමඟ ජීවත්වෙන්න සිදු වේවි. අපිට එහෙම නැහැ කියලා කියන්න අමාරුයි.

නමුත් පසුගිය අවුරුදු දෙකටම වඩා මම දකින්නේ මේ අවුරුද්ද තමයි තීරණාත්මක අවුරුද්ද.

එක පැත්තකින් මුහුදේ ගැඹුර නිසා අපිට තිබෙන ව්‍යාපාර අඩුවීගෙන යනවා. අනෙක් පසින් අපට පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.

 ඒ වගේම නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විශාල ආනේදෝලනාත්මක කතා තියනවා.

ප්‍රශ්නය ඔඩුදුවලා :

මේ සියල්ලටම වඩා හම්බන්තොට ප්‍රශ්නය ඉතාම ශීඝ්‍රයෙන් ඔඩුදුවලා තියෙනවා. මේ සඳහා මුහුණ දෙන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ. තමුන්නාන්සේලාටත් ඒ වගකීම තියෙන්න ඕනේ.

මම කැමැති නැහැ අනෙක් ඇමැතිවරු වගේ යම් කිසි කාල සීමාවකට ඇවිල්ලා ඒ කාලය තුළ තියෙන දේ පමණක් කරලා යන්න. ''

මේ උත්සව අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ සේවක මහත්මීහූ රැසක් එක්ව සිටියහ.

'හම්බන්තොට වරාය පාවා දෙන්නේ රනිල්'

මේ අතර ඊයේ (18දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව මහතා, හම්බන්තොට වරාය චීනයට පාවා දීම සිදුකරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවට චෝදනා කළේය.

 හම්බන්තොට වරාය මේ රටේ අනාගත සමෘධියේ දොරටුව බවත්, එජාපය එය පාවා දීමට සුදානම් වන බවත් ඔහු කියා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

''හම්බන්තොට ප්‍රශ්නය තවමත් විසඳිලා නෑ. හම්බන්තොට වරාය පළමුව තිබුණු කොන්දේසි විශාල වශයෙන් වෙනස් කරලා තමයි අලුත් ගිවිසුම ඇතිකරන්න යන්නේ. ඒක වෙනස් කළේ ජනතාවගේ අරගලයේ බලයෙන්.

එදා ඒ ජනතාව හිරගෙවල්වලට ගියේ නිකං නෙමෙයි. ඊට විරුද්ධව අරගල කරපු නිසයි.

ද්‍රෝහී ගිවිසුමක් :

මේ ගිවිසුම ද්‍රෝහී ගිවිසුමක් කියලා ඔප්පුවෙලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු මුල් ගිවිසුමට වගකියන්න ඕනෙත් එයාමයි. මේ අනුව හම්බන්තොට වරාය පිළිබඳව කියන්නේ සම්පූර්ණ බොරු.

2014- 2015 වසරවල වගේම 2015 _ 2016 වසරවලත් විශාල මෙහෙයුම් ලාබයක් හම්බන්තොට වරාය ලබාගෙන තිබෙනවා.

මේ කාලය තුළ නැව් 360කට වඩා පැමිණ තිබෙනවා. හම්බන්තොට වරාය මේ රටේ අනාගත සමෘධියේ ‍ෙදොරටුව. ඒ තැන මෙයාලා පාවා දෙන්නයි හදන්නේ.

මේ වරාය මෙහෙයුම් වෙනුවෙන් ඉතා සීමිත කාලයකට ආයෝජන වෙනුවෙන් යම් ගිවිසුමකට යනවා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් පිටරට සමාගමත් එකතු වී ලංකාව තුළ ලියා පදිංචි වන කොම්පැනියක් බවට පත් විය යුතුයි.''
Previous Post Next Post