එස්. පියසේන නික්මයයි

ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ ලේඛකයෙකු හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ එස්. පියසේන මහතා අද (05දා) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 94 වියෙහි පසුවූ ඒ මහතා, හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

දේහය දැනට හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.
1922 නොවැම්බර් 14වැනිදා උපත ලැබූ ඔහු  94 වන උපන්දිනය සමරන විටද ජාතික ‍දිනපතා පුවත්පත් දෙකකට සෑම සිකුරාදාම දේශපාලන තීරු ලිපි දෙකක් සතිපතා ලියමින් සිටියේය.

මාසිකව ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත්වලටද විදෙස්ගත ශ්‍රී ලංකික ප්‍රජාව ප්‍රකාශයට පත්කරන පහන, සන්නස, සිහනද ඇතුළු පුවත්පත් කිහිපයකටම මාසිකව ලිපි සපයමින් සිටියේය.

වයස අවුරුදු 18 දී (1940 දී) ජනශක්‌ති නම් වාමාංශික පුවත්පතේ කර්තෘ මණ්‌ඩලයට බැඳෙන ඔහු 1948 දී ලේක්‌හවුස්‌ ආයතනයේ දිණමිණ පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස සේවයට එක් වී තිබේ. එසේම ඔහු 1956 දී පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කතා පරිවර්තකයා ද වෙයි.

1964 දී ඉන්දියාවේ ආකාශ්වාහිනී ගුවන්විදුලි නාලිකාවේ සිංහල වැඩසටහන් සම්පාදකවරයා ලෙස සේවයට යන ඔහු 1976 සිට යළි ලංකාදීපයේ කර්තෘවරයකු ලෙස සේවය කරයි. ඒ අතර 1951 දී එස්‌. පියසේන මහතා ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස බැඳෙයි. එතැනින් ඉන්දීය ආකාස්‌වාහිනී ගුවන් විදුලියට බැඳෙන ඔහු 11 වසරක්‌ එහි සේවය කොට ලංකාවට පැමිණ දවස පුවත්පතට බැඳෙයි.

 1978 දී ඔහු එවක ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස සේවයට බැඳෙන අතර  1983 දී ඔහු ඉන්දියාවේ මදුරාසි නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස වැඩ බාර ගනී.

 කලක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට යළි ලංකාවට පැමිණි ඒ මහතා අවසන් හුස්ම හෙළනතුරුම තම පෑන මෙහෙයවූවෙකි.
Previous Post Next Post