එ.ජා.ප. මන්ත්‍රී දෙපළගේ ගුටි කෙළිය නූලෙන් වළකී

කළුතර දිසා ‍ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩවිතාන යන මහත්වරුන් අතර වචන හුවමාරුවක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක තත්ත්වයකට ළංවූ අතර ඒ හේතුවෙන් රැස්වීම අතරමග නතර කර තැබිමට එහි සම සභාපති ඇමැති මහින්ද සමරසිංහ මහතාට සිදුවිය.

ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතාද කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයකු වේ.

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහා විද්‍යාලයේ පළමු වසරට අමතර පන්තියක් එකතු කිරීම පිළිබඳව පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අධ්‍යාපන බලධාරීන් නිර්දේශ කර නොතිබිම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම උණුසුම් වචන හුවමාරුව ආරම්භ විය.
එම පාස‍ලේ පළමු වසරට අමතර පන්තියක් එකතු කිරීමෙන් අවට කුඩා පාසල් වැසී යාමේ අවදානමක් පවතින බවත් එම විදුහල පහ වසර ශිෂ්‍යත්වය සමත්ව එන ළමුන්ට ඉඩකඩ සලසන පාසලක් වන අතර අමතර පන්ති එක් කිරීමෙන් එහි ඉඩකඩ සීමා වන බවද මෙහිදී මතුගම වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කිරීමෙන් පසු සාකච්ඡාව උණුසුම් ස්වභාවයක් ගත්තේය.

මොහු සුදුසුකම් නොමැති නිලධාරියෙකු බවත් වැඩබලන කලාප අධ්‍යක්ෂවරයා නොව අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂවරයා බවත් මෙහිදී කියා සිටි පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා මොහු විසින් ඉල්ලා ඇති සේවා දිගුව තම බලය පාවිච්චි කර නතර කර දමන බවත් කියා සිටියේය.
මෙහිදී “රජයේ නිලධාරීන් විවේචනය කරන්න එපා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ප්‍රකාශ කිරීමත් සමග“ තමුසේ පාර්ලිමේන්තුවේ වැඩ බලා ගන්නවා. මම පළාත් සභාවේ වැඩ බලා ගන්නම්” යැයි පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමග සභා රැස්වීම උණුසුම් විය.

“මොන ප්‍රශ්න තිබුණත් රජයේ නිලධාරීන් විවේචනය කරන්න එපා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ප්‍රකාශ කළ අතර, මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වන්නට ගිය ගුටි බැට හුවමාරුව සෙසු මන්ත්‍රීවරුන් හා නිලධාරීන් මැදිහත් වී වළක්වා ගත්හ.

මෙම වචන හුවමාරුව අතරේ ගමේ ගොඩේ භාවිත වන වචනද හුවමාරු වනු අසන්නට ලැබුණි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම එ.ජා.ප. මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.

තාරක දුෂ්‍යාන් - කළුතර
Previous Post Next Post