දූෂිත ශ්‍රීලනිප ඇමැතිවරු ගැන හෙළිදරව්වක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල සිදුවන දූෂණ හා අක්‍රමිකතා සොයා බලා හෙළිදරව් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක්‌ තීරණය කර තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂ ඇමැතිවරුන්ට එරෙහිව පමණක්‌ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් චෝදනා එල්ල කිරීමෙන් ආණ්‌ඩුවේ දූෂණ සිදුවන්නේ එජාප ඇමැතිවරුන් යටතේ පමණක්‌ බවට ජනතාව වෙත යන මතය නිවැරදි කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් නව ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසීය.
ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ දූෂණ සොයා බැලීමට එම අමාත්‍යාංශ යටතේ සිටින එජාප රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහාය ලබා ගන්නා බවද හෙතෙම කීය.

ආණ්‌ඩුවේ ප්‍රබලම අමාත්‍යාංශ රැසක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යටතේ පවතින බවද පසුගිය සමයේ මෙන් ජනතා මුදල් කෝටි ගණනින් නාස්‌ති කරන පිරිස මේ ආණ්‌ඩුවේ ද සිටින බවද ජනතාවට ඒ ගැන හෙළිදරව් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

දූෂණ චෝදනා ඇති ඇමැතිවරුන්ට එරෙහිව වහා පරීක්‍ෂණ පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බල කිරීමටද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(දිවයින)
Previous Post Next Post