කොළඹ කුණු ජා ඇලට හා පිළියන්දලට

මීතොටමුල්ල කුණු කන්ද නායා යාමත් සමගම කොළඹ නගරයේ එකතු වන කසල ජාඇල ප්‍රදේශයේ තෝරාගත් භූමියක් වෙතත් තවත් කොටසක් රත්මලාන - පිළියන්දල සිමාවේ පිහිටි කරදියනාරු ප්‍රදේශයටත් ගෙන යෑමට ආණ්ඩුවේ බලධාරීන් මේවනවිට තීරණය කර තිබේ.

එහෙත්, කරදියනාරු ප්‍රදේශයේ කුණු කසල දැමීමට එරෙහිව පරිසර සංවිධාන ගොනුකළ පෙත්සමක් සලකා බලා අධිකරණයේ විසින් මේවනවිට වාරණ නියෝගයක් ලබාදී තිබීමත්, ජා ඇල කුණු දැමීමට කර්දිනල්තුමන් විරෝධය පළකිරීමත් තුල බලධාරීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටිති.
මේ අතර මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් ඒ සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කුණු ටොන් දහසක් ?

දිනපතා කොළඹ නගරයේ එකතු වන කුණු ටොන් දහසකට ආසන්න ප්‍රමාණයක් බැහැර කිරීමට කඩිනමින් වෙනත් ස්ථානයක් සොයා නොගතහොත් කොළඹ නගරවාසීන් දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බව කොළඹ නාගරික බළධාරීන්ගේ තක්සේරුවයි.

මේ වනවිටත් කොළඹ නගරයේ කුණු තැන තැන ගොඩගැසෙමින් පවති.

කොළඹ ප්‍රදේශයේ විදේශ තානාපති කාර්යාලය බහුලව පිහිටි කොළඹ 7 සහ කොළඹ 5 ප්‍රදේශයේ කුණු තාවකාලික හෝ වෙනත් ස්ථානයක් සොයා රැගෙන යාමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

'කොළඹ කුණු අපිට එපා'

කොළඹ නගර සභාවේ කුණු මීතොටමුල්ල වෙත ගෙන යෑම රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කල බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය.

කසල කළමනාකරණය සඳහා විධිමත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට නොහැකිවී ඇත්තේ මහජන විරෝධතා නිසා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

'කොළඹ කුණු අපිට එපා' යන සටන් පාඨයට කළ හැකි එකම දේ මෙය පමණක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
Previous Post Next Post