මහනුවර කසල කන්දත් නායායාමේ අවදානමක

මහනුවර ප්‍රදේශයේ එක් රැස් වන කසළ බැහැර කෙරෙන ගුහාගොඩ තේක්කවත්ත කසළ කන්ද ද අවදානම් තත්ත්වයකට පත් වෙමින් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

එම ස්ථානය කසළ බැහැර කළ හැකි උපරිම සීමාවට ළඟා වී ඇති බව ඔහු පැවසුයේ 'නෙත් නිව්ස්' වෙත අදහස් දක්වමිනි.
මීතොටමුල්ල කසළ කන්ද පිහිටි ස්ථානයේ පාංශු ස්ථරය ශක්තිමත් නොවන බව තමන් මීට පෙර අදාළ අංශ වෙත දැනුවත් කර තිබූ බවද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

මීතොටමුල්ල යළි අවදානම් !

මේ අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පැවසුයේ, ඉදිරියේදී වැසි වැටුණොත් මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යා හැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බණ්‌ඩාර මහතා මෙසේද පැවසිය.

"ඇත්තටම කුණු කන්ද නාය ගියේ නැහැ, සිද්ධ වුණේ කුණු කන්දේ බරට පොළොවේ තිබෙන පස්‌ තට්‌ටුවක්‌ විස්‌ථාපනය වීමයි. මෙහිදී කන්ද අවට නිවාස පැත්තකට තල්ලුවීමක්‌ සහ ඉහළට එසවීමක්‌ සිදුවෙලා තිබෙනවා.

 මේ තත්ත්වය අපි හඳුන්වන්නේ නාය යැම් තත්ත්වයක්‌ ලෙසයි. මෙවැනි සිදුවීමක්‌ ලංකාවේ සිදුවූ පළමු වතාව මෙයයි.

දැනට කන්දට කුණු නොදමන නිසා අවදානමක්‌ නැහැ. නමුත් ඉදිරියේදී වැසි වැටුණොත් කුණු කන්ද නාය යා හැකියි.

ඒ නිසා අපි දැනටමත් කුණු කන්ද අවට අවදානම් කලාපයක්‌ නම් කර එහි පදිංචිකරුවන්ට එතැනින් ඉවත් වීමට උපදෙස්‌ දී තිබෙනවා.

මෙම අවදානම් කලාපයේ නිවාස 130 ක්‌ පමණ තිබෙනවා" යෑයි ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පැවසීය.
Previous Post Next Post