මුතුරාජවෙල ආරක්ෂාවට STF කැඳවයි

මුතුරාජවෙල අභය භූමියේ ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඊයේ (12දා) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය (STF ) යොදවා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මුතුරාජවෙල අභය භූමියේ අක්කර පහක පමණ කොටසක් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා මේ වන විට එහි නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වී ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.
තිස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් එකවර කඩා වැදී අභය භූමියේ අක්කර පහක පමණ කොටසක් එළිපෙහෙළි කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද ගලවා විසිකර දමා ඇතැයි එම නිලධාරීහු කියා සිටිති.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ?

අභය භූමිය එළිපෙහෙළි කර ඇත්තේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ වනජීවී නිලධාරීන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මුතුරාජවෙල අභය භූමියේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඊයේ  (12දා) සිට එහි ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි වනජීවී අමාත්‍යාංශය සඳහන් කරයි.
Previous Post Next Post