පැය 24ක් ඇතුළත කැබිනට් සංශෝධනයක්

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මේ සතිය අවසන් වීමට ප්‍රථම බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග රිවිරට ප්‍රකාශ කළේය. ඒ අනුව බොහෝ දුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ගණනාවක් සංශෝධනය කිරීමට නියමිත බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය කිරීමට අදාළ ගිවිසුම පසුගිය සිකුරාදා එජාප මහ ‍ලේකම් අමාත්‍ය කබිර් හෂීම් මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව මහා මාර්ග, ධීවර, උසස් අධ්‍යාපන, ඛනිජ තෙල්, විදේශ, ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇති බවද අදාළ ආරංචි මාර්ග කියා සිටියේය. ඊට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන්ද කැබිනට් සංශෝධනයට සමගාමීව මාරු කිරීමට රජයේ දැඩි අවධානය යොමුව තිබේ. එම සංශෝධනද මේ සතිය තුළ සිදුවන බවට ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ සංශෝධන සිදුවන නිසා විදේශගතවීමට නියමිත අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් නතර කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබි ඇති බවද අදාළ ආරංචි මාර්ග කියා සිටියේය.
Previous Post Next Post