ජනපතිගේ තීරණයට යාපන සරසවිය අසතුටින්

සනාතන සභාව විසින් වැඩි ඡන්ද ලබාදුන් මහාචාර්යවරයා වෙනුවට දෙවැනි ස්‌ථානය ලබාගත් මහාචාර්යවරයා යාපනය විශ්වවිද්‍යාලයයේ උපකුලපති ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කිරීම පිළිබඳ එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ සිසුහු කනස්‌සල්ල පළකර සිටිති.

උපකුලපති තනතුර සඳහා පස්‌දෙනකු තරග කර ඇති අතර සනාතන සභාවේ වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ එනම් ඡන්ද 17 ක්‌ මහාචාර්ය එස්‌. ශ්‍රී සත්ගුණරාජා මහතාටද, දෙවනුව ඡන්ද 11 ක්‌ මහාචාර්ය පී. විග්නේෂ්වරන් මහතාටද, ඡන්ද 9 ක්‌ මහාචාර්ය වේල්තම්බි මහතාට ද හිමිවී ඇත.
පසුව මෙම මහාචාර්යවරුන්ගේ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපති ලේකම් අබේකෝන් මහතා විසින් පසුගිය 28 වැනිදා යාපනය උපකුලපතිවරයා ලෙස ඡන්ද 11 ක්‌ ලබා දෙවැනි තැන හිමි වූ ආර්. විග්නේෂ්වරන් මහතා පත්කර ඇතැයි ද එම විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති.

යහපාලන රජයෙන් මෙවැන්නක්‌ කිසිසේත් බලාපොරොත්තු නොවූ බව ද ජනාධිපතිවරයා විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳ සිසුහු මෙන්ම ආචාර්ය මහාචාර්යවරු ද කලකිරීමකට හා කනස්‌සල්ලට පත්ව ඇතැයි ද ඔවුහු කියති.
Previous Post Next Post