සුසිල්ට උ/මැ ඇමැති ධුරයක්‌

උතුරුමැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්‌ඩුකාරවරයාගෙන් දිවුරුම් ප්‍රකාශ මගින් ඉල්ලා සිටි මන්ත්‍රීවරයකු වූ සුසිල් ගුණරත්න මහතා එම පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස ආණ්‌ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ ඊයේ (16 දා) දිවුරුම් දුන්නේය.

උතුරුමැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඉවත් කර ඒ වෙනුවට හිටපු ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා පත්කරන ලෙසට උතුරුමැද මන්ත්‍රීවරු 17 දෙනෙක්‌ ආණ්‌ඩුකාරවරයාගෙන් පෙරේදා (16 වැනිදා) ඉල්ලා සිටියහ.
ආණ්‌ඩුකාරවරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ අතර එම ඉල්ලීම කළ මන්ත්‍රීවරුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වූ සුසිල් ගුණරත්න මහතා එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා දැරූ අමාත්‍ය ධුරය වන ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු, සමුපකාර, වෙළෙඳ, ආහාර හා කර්මාන්ත යන ඇමැති ධුරයේ ඊයේ දිවුරුම් දුන්නේය.

ඊයේ පෙරවරුවේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ආණ්‌ඩුකාර නිල නිවසේදී අප්‍රසිද්ධියේ ඉතා රහසිගතව සිදුවූ සුසිල් ගුණරත්න මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්‌ථාවට ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්‌ඩාර මහතා පමණක්‌ සහභාගි විය.

කලක සිට ඒකාබද්ධ විපක්‍ෂයට ක්‍රියාකාරීව සහාය පළ කළ සුසිල් ගුණරත්න මහතාගේ ඇටවීරගොල්ලේ පිහිටි නිවසට ගොස්‌ දීර්ඝ සාකච්ඡාවක නිරතවීමෙන් පසු මහ ඇමැතිවරයා හිටපු අමාත්‍ය එස්‌. එම්. රන්ජිත් සමරකෝන් මහතා දැරූ ඇමැති පදවිය භාරගන්නා ලෙසට ඉල්ලීමක්‌ කොට ඇත. එම අවස්‌ථාවේ එකවරම ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට සුසිල් ගුණරත්න මහතා සිය එකඟතාව පළකර නොතිබිණි.

අනතුරුව සුසිල් ගුණරත්න මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සිය ආධාරකරුවන් නිවසට කැඳවා සහ එම අවස්‌ථාවේ නිවසට කැඳවීමට නොහැකි වූ ආධාරකරුවන්ගේ දුරකථන ඔස්‌සේ අදහස්‌ විමසීමෙන් පසු ඒ මහතා අමාත්‍ය ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇත.

හැටහත් හැවිරිදි වියෙහි පසුවන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු වූ ඒ මහතා වසර හතළිස්‌ අටකට වැඩි කාලයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ක්‍රියාකාරීව විශාල මෙහෙයක්‌ ඉටු කළ අයෙකි.

අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා පොදුජන එක්‌සත් පෙරමුණෙන් සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට සිව්වරක්‌ තරග කොට උතුරුමැද පළාත් සභාවට මන්ත්‍රීවරයකු ලෙස පත්ව වරක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද දරා තිබේ.

නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සුසිල් ගුණරත්න මහතා ආණ්‌ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ රණවිරු ස්‌මාරකය අබියසදී පැවැති උතුරුමැද පළාත් රණවිරු සැමරුම් උත්සවයට ද ප්‍රධාන ඇමැතිවරයා සමඟ සහභාගි විය.
gossip lanka