මෝදි වතුකරයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරයේදී වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ද මුණ ගැසෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැයි 12 වන දා දිවයිනේ සංචාරයක නිරත වන්නේ මෙරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමටයි.

බුද්ධ ධර්මයේ උරුම කේන්ද්‍රය වූ ඉන්දියාව ආසියාකරයේ අනෙකුත් රටවල් සමඟ සම්බන්ධතා පාලමක් ගොඩනැගීමට බුදුදහම යොදා ගැනීමට උත්සාහ කරන බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැටන් - දික්ඔය ප්‍රදේශයේ ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඉදිකළ රෝහල විවෘත කිරීම සඳහා එක් වන අතර එහිදී ඔහු වතුකරේ දෙමළ ජනතාව ඇමතීමට නියමිතයි.

වත්මන් රජය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබදතා ශක්තිමත් වී ඇති බව පෙන්වා දෙන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියා සිටින්නේ පසුගිය සමයේ එම සබඳතාවල පළුඳුවීමක් පැවැති බවයි.

මේ අතර, ඉන්දියාව විසින් ඊයේ උඩුගුවනට යැවූ දකුණු ආසියානු චන්ද්‍රිකාව ඔස්සේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව හින්දු පුවත්පත සඳහන් කළා.

ඉන්දීය රුපියල් කෝටි 450ක වියදමින් උඩු ගුවනට යැවූ එම චන්ද්‍රිකාව මගින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට නොමිලේ සන්නිවේදන සේවා ලබා ගත හැකි වනු ඇති.

ඊයේ එම චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දකුණු ආසියාතික රටවල නායකයන් සමඟ පැවැත්වූ ඩිජිටල් සංවාදය පිළිබදව ද හින්දු පුවත්පත සිහිපත් කළා.
Previous Post Next Post