මහින්ද අමරවීරට නින්ද නොගිය රාත්‍රීය ?

අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත් කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවද ඔහු කියා සිටියි.

‘මගේ දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම දවස 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත ඔසවපු දිනයයි.‘ යැයි ඔහු කියයි.
ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට අත එසවීමද එලෙස සිදුවූවක් බවත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම වැනි සිදුවීම් නොවිය යුතුව තිබූ ඒවා බවත් අමරවීර මහතා කියයි.

ඔහු මේ බව කීවේ කොළඹ තැපැල් මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.

පසුගිය ආණ්ඩුව තවත් කාලයක් තිබුණේ නම් තේවලට පවා තහනමක් ඒමට ඉඩ තිබුණු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට තමා වැඩ නොකළත් එම වේදිකාවේ දුන් පොරොන්දු රැසකට තමන්ද එකඟ බවත් අමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට එකළ ජනමාධ්‍යය තුළ හරි ඉඩක් නොලැබුණු බව කී ඇමැතිවරයා විවිධ සංවිධාන හා කණ්ඩායම් රැසක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බව ද පැවසිය.


(ලංකාදීප)
gossip lanka