එජාපයට විධායක නිලධාරියෙක් ?

එක්සත් ජාතික පක්ෂයේ පරිපාලන කටයුතු සඳහා බලතල හිමි ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමට එම පක්ෂයේ අවධානය යොමුව තිබේ.

ඊයේ (මැයි 08) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒ පිළිබඳ සාකච්ඡා වූ බව ඊට එක් වූ එම පක්ෂයේ ඇමතිවරයෙකු පැවසීය.

බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂ බහුතරයක් තුළ ද පක්ෂ පරිපාලන කටයුතු සඳහා එවැනි තනතුරක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව එජාපය තුළත් එවැනි තනතුරක් පිහිටුවා පක්ෂයේ පරිපාලන හා සන්නිවේදන අංශ එම තනතුර යටතට පත් කිරීමට යෝජනා වී ඇත.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් කියා සිටියේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු වඩාත් වෘත්තීය මට්ටමින් පවත්වා ගෙන යාම සඳහා එවන් තනතුරක් අවශ්‍ය කරන බවය.

සහකාර නායක තනතුරු

මේ අතර ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ ප්‍රධාන තනතුරුවල වෙනසක් සිදු වනු ඇති බවට ඇතැම් වාර්තාවල සඳහන් වූ නමුත් එවැනි වෙනසක් සිදු නොවුණි.

එමෙන්ම පක්ෂයේ සහකාර නායක තනතුරු තුනක් පත් කිරීමේ යෝජනාව ද ක්‍රියාත්මක නොවීය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ කොළඹ කැම්බල් පිටියේ පැවති සිය පක්ෂයේ මැයි දින රැළියට එක් ලක්ෂ හතළිස් හත්දහසක පිරිසක් පැමිණ ඇතැයි ගණන් බලා ඇති බවය.

මේ අතර සිය පක්ෂ සාමාජිකයන් වෙත ලබාදී ඇති කැබිනට් අමාත්‍ය ධුරවල වෙනස් සිදු නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව පුවත්පත් කිහිපයක් අද වාර්තා කොට තිබිණි.

(බීබීසී සිංහල සේවය)
Previous Post Next Post