දිවි රැකදෙන තනපටක්?

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි.

18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේ ද සහය ඇතිව නිපදවන ලද මෙම තනපටය නම් කර ඇත්තේ 'ඉවා බ්‍රා' නමිනි.

පිළිකාවක් ඇතිවීමට හේතුසාධක විය හැකි වෙනස්වීමක් පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් මෙම තනපටයට ඇති බව ඔවුහු පවසති.

තවමත් මූලාකෘතියක් වශයෙන් පමණක් පවතින මෙම නිෂ්පාදනයට, ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මාන උළෙලේ පළමු ත්‍යාගය හිමි විය.

මෙම තනපට අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල මේවනවිටත් තමන්ට ලැබී ඇති බව එය නිපදවූ ශිෂ්‍යයෝ පවසති.

මෙම තනපටය ක්‍රියා කරන්නේ කෙසේද?

පිළිකාවකට හේතුවිය හැකි ගැටිත්තක් වේනම් එය කරා වැඩි රුධිර ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් ඒ අවට සමේ උෂ්ණත්වය ඉහළ යා හැකිය.

තනපට තුළ සවිකර ඇති ජීව සංවේදක මගින් මෙම උෂ්ණත්ව වෙනස ග්‍රහණය කෙරෙනු ඇත.

නිවැරදි මිනුම් ලබාගැනීම සඳහා කාන්තාවන් විසින් මෙම තනපට අවම වශයෙන් සතියකට විනාඩි 60 - 90 අතර කාලපරාසයක් ඇඟ ලා සිටිය යුතු වේ.

කෙසේ නමුත් මෙහි නිරවද්‍යතාව සනාථ කිරීම සඳහා තවමත් නිසි අත්හදා බැලීමක් සිදුකර නොමැත.

මවට පියයුරු පිළිකාවක් :

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ඇනා පර්මන් කියා සිටියේ විද්‍යාත්මකව අත්හදා බැලීමක් සිදුකර නොමැති තාක්ෂණයක් මත යැපීම සුදුසු නොවන බවය.

කෙසේ නමුත් 18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ මෙම විශේෂ තනපටය නිපදවීමට වෙහෙසී ඇත්තේ සිය මවට පියයුරු පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

එය කල්තබා විනිශ්චය කරගැනීමට වෛද්‍යවරයා අසමත් වීම හේතුවෙන් සිය මවගේ පියයුරු යුවළම ඉවත් කරන්නට සිදුවී තිබේ.

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත බවට විශ්වාස කෙරෙන මෙම විශේෂ තනපට ලබන වසරේ වෙළඳපලට නිකුත් කළහැකි බව මෙම නවයොවුන් නිමැවුම්කරුවෝ පවසති.

(බීබීසී සිංහල සේවය)




















ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මානය දිනාගත් ජුලියන්ට සුභ පතා මෙක්සිකෝවේ ජනාධිපතිවරයා නිකුත්කළ ට්විටර් පණිවිඩය
Previous Post Next Post