මෝඩි එනදාට කළු කොඩි ඔසවන්න

ඉන්දියාවේ අගමැති ලංකාවට එන දිනයේ කළු කොඩි ඔසවා විරෝධය පලකරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

''රනිල් මහත්තයා ඉන්දියාවට ගිහින් වරාය, තෙල් ටැංකි ඇතුළු ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙන්න හදනවා. මේ ශිෂ්ටාචාරය විනාශ කරන්න ඉන්දියන්කාරයන්ගෙන් පුරවනවා. මෝඩි 09 එන්නෙ වෙසක් බලන්න නෙවෙයි. ගිවිසුම් ගසන්නයි. ඒකට විරුද්ධව කළු කොඩි ඔසවන්න ඕන.'' යයි ඔහු කියා සිටියේ, ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ගාලු මුව‍ෙදාර පිටියේ පෙරේදා (01දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය.

''දෙන්නේ නැති ඡන්ද අපි ගන්න ඕන. මේ ජනතා අධිෂ්ඨානය දෙගුණ තෙගුණ කරලා කොළඹ වට කරලා ඡන්දය ලබා ගන්න ඕන. දේශපාලන සල්ලාලයෝ මේ රට කෙලෙසනවා. රණවිරුවෝ සිරගත කරනවා. සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව රටට දෙන තෑග්ග එකයි.

ඒත් ජාතියේ හිස් මතට බෝම්බ හළපු කොටි ගුවන් බළකායේ දෙවැනියා නිදහස් කළා. ඉතින් මෙවැනි රටක කුණු කඳු හිස මතට කඩා වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි.

2020 වෙනකං බලා හිටියොත් ගන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. එට්කා අස්සන් කරපු රටක් වැඩක් නැහැ.

 දැන් බැඳුම්කරෙන් හොරා කාපු සල්ලිවලින් පත්තර ගහනවා. ස්වාධීනයි කියන ඒවා අරගෙන තිබෙනවා. බැඳුම්කරෙන් හොරකම් කරපු පත්තරේට දැන්වීම් දෙන්න කියලා ඇමැතිවරු කියනවා. ඒ පත්තර බලන්න එපා. ඒකාබද්ධ විපක්ෂයේ පණිවුඩය ඒකයි.

ෆෙඩරල් හාල් ඇටය:

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදනවා. ඒකීයභාවයේ පොත්ත තුළ ෆෙඩරල් හාල් ඇටය තියෙනවා. ජීවිත පුදා නිදහස් කරගත් මවු පොළොව ව්‍යවස්ථාවෙන් බෙදන්න හදනවා. අද අපි ජනපති මන්දිරයට, අරලියගහ මන්දිරයට යන්නෙ නැහැ. ඒත් රට බෙදන්න හැදුවොත් ඉදිරියේදී ඒක කරනවා.

ජනතාව රැවටිලා ජනවාරි 8 කළ වෙනස නිසා අද වැඩ කරන ජනතාවගේ අතේ පිච්චියක්වත් නැහැ. ජාතික අභිමානය කෙලෙසිලා ඉවරයි.''

ගාළු මුවදොර පිටියේදී පැවති මැයි රැළිය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා කල කතාවේ සම්පුර්ණ වීඩියෝව
Previous Post Next Post