හෙට වැඩ වර්ජනයට මහින්දගේ සහය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) ආරම්භ කරන වැඩ වර්ජනයට පූර්ණ සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
"සයිටම්" ආයතනය රජයට පවරා නොගැනීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කිරීම, ඉන්දියාව සමඟ "එට්කා" ගිවිසුම ඇති කිරීම හා ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ඉඩම් හා සම්පත් විදේශ රටවලට බදුදීම යන කරුණු පදනම් කරගෙන හෙට (05) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය.

ජවිපෙත් එක්වේ !

ඒ අතර හෙට (5දා) දියත් කිරීමට යන වැඩ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සියලු වෘත්තීය සමිති එක්වීමට තීරණය කර තිබේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පවසන්නේ සියලුම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එදිනට වර්ජනයේ නිරත වීමට සූදානම් බවත් අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලබා දීමට නියමිත බවත්ය.

රාජිත සටනට සුදානම් :

මේ අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පුරුවට ගොස් සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසන්නේ, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සහ ඒකාබද්ධ විපක්ෂය එකම මතයක සිටින බවත්, රජය පෙරළීමේ අරමුණින් සිදු කරන පාදඩ වර්ජන වලට මුහුණ දීමට සුදානම් බවත් ය.

එසේම, මෙවැනි වර්ජන වලට මුහුණදීම සඳහා තමන්ට නිසි බලතල පවරන්නැයි ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් ඉල්ලා තිබේ.
Previous Post Next Post