අධිකරණ තීන්දුවට පෙර විදුලි ඉංජිනේරුවෝ සටනට

ඉකුත් ආණ්ඩු සමයේ අවසන් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් නීති විරෝධී අන්දමින් සහ අත්තනෝමතිකව වැඩි කරගත් වැටුප් නීත්‍යනුකූල කරන්න යැයි එම ඉංජිනේරුවෝ ලංකා විදුලිබල මණ්ඩලයට බලපෑම් කරන බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව විදුලි ඉංජිනේරුවන් සිය වැටුප 100% කින් ඉහළ දමාගෙන තිබුණේ 2015 ජනවාරි මස අට වැනිදා සිටය.
එකී වැටුප් වැඩි කිරීම සිදුකර තිබුණේ වංචනික සහ නීති විරෝධී ලෙස බව විදුලි සේවක වෘත්තීය සමිති විසින් ද පෙන්වා දෙනු ලැබීය.

විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කර ගැනීම නීත්‍යනුකූල නොවන බව පෙන්වා දෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ පොදු සේවක සංගමය විසින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් වැටුප් වැඩි කර ගැනීමට ක්‍රියාකර තිබුණේ එකට පහේ අනුපාතයේ සිට එකට අටේ අනුපාතය දක්වාය. අදාළ වැටුප් වැඩිකර ගැනීමත් සමඟ විදුලිබල මණ්ඩලයේ බරපතළ වැටුප් විෂමතාවක් ද මතු විය.

සාමූහික ගිවිසුමකට :

මෙම අර්බුදය හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 28 ක් විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය සමඟ සාමූහික ගිවිසුමකට ද එළැඹිණි.

ගිවිසුම ගැසට් නොකිරීමෙන් එහි වලංගුභාවයක් නොපවතින අතර සාමූහික ගිවිසුම කඩ කරමින් විදුලිබල ඉංජිනේරුවෝ සිය වැටුප් ඉහළ තලයකට ඔසවා ගනු ලැබීය.

නීති විරෝධී අන්දමින් වැඩි කරගත් වැටුප් නීත්‍යනුකූල කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට කරන ලද බලපෑම හේතුවෙන් මීට සතියකට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වූයේය.

 දැන් එම තනතුර සඳහා ඉකුත් ආණ්ඩු සමයේ ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු කළ සභාපතිවරයා නැවත පත්කර තිබෙන අතර ඔහුට ද මෙකී අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත.

අධිකරණ තීන්දුව ළඟදීම:

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ ක්‍රියා කලාපය සහ වෘත්තීය සමිති අතර කිසියම් ගැටලුවක් ඇත්දැයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඉකුත් ආණ්ඩුවේ අවසන් දින කිහිපයේ දී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කූඨ ලෙස සිය වැටුප් ඉහළ දමාගනු ලැබූ බවයි.

 මේ නිසා අනෙකුත් සේවකයන්ගේ වැටුප් විෂමතා අතර අධික පරතරයක් නිර්මාණය වූ බව ද හෙතෙම පෙන්වා දුනි.

අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබිය දී විදුලි ඉංජිනේරුවන් 2015 දී කළ නීති විරෝධී කටයුත්ත නීත්‍යනුකූල කර ගැනීමට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කළමනාකාරීත්වයට බලපෑම් කරන බව ද ඔහු කීවේය.

විදුලි ඉංජිනේරුවන් සිය වැටුප් වැඩි කරගෙන තිබුණේ සභාපතිවරයා ලබා දුන් අවිධිමත් ලිපියකට අනුව බව ද අනාවරණය වී ඇත.

 නීති විරෝධී කටයුත්ත නීත්‍යනුකූල කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා යටතේ ඇති අභ්‍යන්තර විගණන අංශය සහ නීති අංශය සාමාන්‍යාධිකාරීවරයා යටතට පවරා ගැනීමට විදුලි ඉංජිනේරුවන් ක්‍රියා කරන බව ද සැල වී තිබේ.

ගැටලුකාරී තත්ත්වයක් :

විදුලිබල මණ්ඩලයේ හටගෙන ඇති මෙකී ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ 2015 අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට ක්‍රියා කර තිබූ බවයි.

ඒ සමඟම වෘත්තීය සමිති ගණනාවක් ද සිය වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට අරගල කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව ද හෙතෙම කීවේය.

විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලපෑම් කරන්නේ විදුලි ඉංජිනේරුවන් නොව අනෙකුත් වෘත්තීය සමිති බව ද මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මතු වී ඇති තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා ද ඇතුළත් විශේෂ කමිටුවක් මේ වන විටත් පත්කර ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
Previous Post Next Post